15 හැවිරිදි දැරියක තරුණයන් දස දෙනකු විසින් අවස්ථා කිහිපයකදී අතවරයට ලක් කිරිමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.  මෙම දැරියගේ පෙම්වතා බව කියන තරුණයකු මෙම දැරිය  අවස්ථා කිහිපයකදීම ලැගුම් හලකට රැගෙන ගොස්
අපයෝජනයට  ලක් කර පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනකුටද පෙම්වතා විසින්  මෙම දැරිය හඳුන්වා දී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

  ඒ අනුව පෙම්වතාගේ මිතුරන් පස් දෙනකු මෙම දැරිය රවටා  පසුගිය දිනක ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් අතවරයට ලක් කර ගත් පසු තවත් තරුණයන් සිව් දෙනකුද පෙරේදා (19 වැනිදා) පෙරවරුවේ මෙම දැරිය රවටා ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇතැයි කියයි.

දැරිය පෙරේදා (19 වැනිදා) තරුණයන් සිව් දෙනකු සමග ත්‍රිරෝද රථයකිත් යනු ඇයගේ ඥාතියකු දැක ඒ බව දැරියගේ මවට පවසා තිබේ. ඒ අනුව මව දැරියගෙන් සිදු කළ විමසීමකදී දැරිය සියලු විස්තර පැවසීමෙන් පසු සෙවණගල පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී දැරිය විසින් ලබා දී ඇති තොරතුරු වලට අනුව තරුණයෝ හය දෙනෙක් සෙවණගල පොලිසිය විසින් 19 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

 අත්අඩංගුවට පත් තරුණයන් 06 දෙනා ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ බව කියන දැරියගේ පෙම්වතා ඇතුළු තවත් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙවණගල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

(සූරියවැව දිලීප් ජයසේකර)