කොරෝනා වෛරස පැතිරීම මත ලෝකයේ රටවල් අගුලු දැමීම නිසා ඇතිව තිබෙන ආර්ථික හානිය ඉමහත්ය. අර්බුදයේ මැද සිටින ලංකාව ඇතුළු රටවල් නැවත තම රට විවෘත කිරීම ගැන කොන්දේසි සහිතව කල්පණා කරමින් සිටී. සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වාගෙන යෑම කළහොත් මෙම විවෘත කිරීම නිසි ලෙස කළ හැකි බව මේ රටවල පිළිගැනීමය. එවන් රටවල් 5 ක්
නැවත වීවෘත කිරීම ගැන සිතන ආකාරය පහත පරිදිය.

නවසීලන්තය
මාර්තු මාසයේ අගභාගය වන විට නවසීලන්තයේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයන් 102ක් වාර්තා වූ අතර මරණ කිසිවක් වාර්තා නොවීය. ඉන්පසු එරට ආණ්ඩුව ජනතාවට නිවසේම රැඳී සිටින ලෙස නීති පනවනු ලැබූ අතර සංචාරකයන් එම රටට ඇතුල් වීම තහනම් කරන ලදි. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර කටයුතු නවතා දැමීම, සියලුම හමු වීම් අවලංගු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන අය වෙනුවෙන් පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම එරට ආණ්ඩුව විසින් ගන්නා ලද පියවරවලට ඇතුළත් වේ.
එහෙත් අප්‍රියෙල් 20 වන විට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ගණන 10ට අඩු ප්‍රමාණයක් ලෙස වාර්තා වීම හේතුවෙන් තම රටෙහි වෛරසය ව්‍යාප්තිය පාලනය වී ඇති බවට එහි අගමැතිනිය ජසින්ඩා ආඩර්න් විසින් නිවේදනයක් නිකුත් කරන ලදි. “නවසීලන්තයේ කොතැනකවත් වෛරසය සමාජ මට්ටමේ පැතිර යෑමක් දක්නට නොලැබෙන” බව ඇය සඳහන් කළ අතර “අපි සටන ජය ගත්තා” කියාද ඇය පැවසුවාය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැණුම්කරුවන්ව අවශ්‍ය නොවන ව්‍යාපාර කටයුතු සහ සමහර සිසුන්ගේ පාසැල්ද අඟහරුවාදා සිට යළි ඇරඹෙනවා ඇති. යම් අවදානමක් නොමැති පුද්ගලයන්ට සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් විනෝදාංශවල නිරත වීම සඳහා (කඳු නැඟීම සහ රළ ක්‍රීඩා වැනි) නිවසෙන් පිටතට යෑමට අවසර ලැබේ. විවාහ උත්සව සහ අවමංගල්‍ය උත්සව පැවැත්විය හැකි අතර උපරිම 10දෙනෙකුට ඒවාට සහභාගී විය හැකිය. කොහොමවුණත් හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රැකියා කටයුතුවල නිරත වන ලෙස මිනිසුන්ට උනන්දු කරන අතර පොදු ස්ථාන දැනට වසා තැබේ. රජය සති දෙකක් තුළ මෙම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මුදාහරියි.

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කිරීමට අමතරව නවසීලන්ත‍ය විසින් එහි වැසියන්ට කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි දැනගැනීමට දැඩි පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලදි. අගමැතිනිය පවසන පරිදි දිනකට පරීක්ෂණ 8000ක් සිදු කිරීමට නවසීලන්තයට හැකියාව තිබෙන අතර එය ලොව පුරා දක්නට තිබෙන ඉහළම අනුපාතයයි. නවසීලන්තයේ  මිලියන 4.8ක ජනගහනයක් ජීවත් වන අතර මේ වන විට පරීක්ෂණ 124,000ක් පමණ සිදු කර තිබේ.
අඟහරුවාදා වන විට නවසීලන්තයෙන් වාර්තා වූ මුළු කොවිඩ්-19 ආසාදිතයන් ගණන 1472කි. 19දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

දකුණු කොරියාව
දකුණු කොරියාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ එක්සත් ජනපදයේ පළමු ආසාදිතයා වර්තා වූ දිනමය. එනම් ජනවාරි 20 වෙනිදාය. මාස දෙකක් ගත වීමෙන් පසුව එක්සත් ජනපදයේ ආසාදිතයන් 9000ක් වාර්තා වුවද දකුණු කොරියාවේ වාර්තා වන නව ආසාදිතයන්ගේ ගණන පැතලි වක්‍රයක හැඩයක් ගන්නා ලදි. මෙම ප්‍රතිඵලයට හේතු වන්නේ කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා දැඩි ලෙස පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සහ රටවැසියන්ගේ සමාජ සබඳතා පිළිබඳව ගවේෂණය කිරීමය. මේ සඳහා පරීක්ෂණ ලක්ෂයක් පමණ සිදු කරනු ලැබූ අතර සෑම දිනකම පරීක්ෂණ 20,000ක් සිදු කෙරෙයි. රටවැසියන්ගේ ක්‍රෙඩිට් කාඩ් ගනු දෙනු සහ ඔවුන්ගේ දුරකථන දත්ත පිළිබඳව අධ්‍යයනය කිරීමත් කොවිඩ් ආසාදනය වීමට අවදානම් ඇති පුද්ගලයන්ව හඳුනාගැනීමට උපකාරවත් විය.
දකුණු කොරියාව සම්පූර්ණයෙන්ම අගුළු නොදැමූ අතර ඒ වෙනුවට සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති ඉතා තදින් ක්‍රියාත්මක කරන ලදි. එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපනය පොදු ජනයාට ලබා දීමට වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදි. විශාල පිරිසක් එක්රැස් වීමට ඉඩ ඇති ආයතන සහ ස්ථාන වසා දමනු ලැබූ අතර (මැයි මුල සිට මෙම තහංචි ලිහිල් කරයි) මුඛ හා නාස් ආවරණ පළඳින ලෙස, නිතර දෑත් සෝදන ලෙස සහ පොදු ස්ථානවලදී අනිත් පුද්ගලයන් සමග නියමිත දුර පවත්වාගන්නා ලෙස දකුණු කොරියානු වැසියන්ට මඟ පෙන්වන ලදි. කාර්යාල සහ ආපන ශාලා ඇතුළු ස්ථානවලට පුද්ගලයන් ඇතුල් වීමට පෙර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ සැලැස්මක්ද ක්‍රියාත්මක විය. පිරිසිදුකම පවත්වාගෙන යෑමට අවශ්‍ය රීති සම්පාදනය කිරීමට සහ බලධාරීන්ට සහයෝගය දැක්වීමට වෙනම නිලධාරියෙකුවද පත් කරන ලදි.
මේ වන විට දකුණු කොරියාවෙන් අසාදිතයන් 10,800ක් පමණ වාර්තා වී ඇති අතර 244දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. රෝගීන් සහ මරණ අතර අනුපාතය සලකා බලන කල එය එක්සත් ජනපදයේ වාර්තා වන අනුපාතයෙන් අඩකට කිට්ටුය.

ඉතාලිය
සති 7කට ආසන්න කාල සීමාවක් පුරා වසා තැබූ ඉතාලිය ඉදිරි සතියේදී අදියර වශයෙන් විවෘත වන බව ඉතාලිය ප්‍රකාශ කර තිබේ. “වැදගත්ම කාරණය වන්නේ අපි එක් එක් පුද්ගලයා වගකීමෙන් යුතුව කටයුතු කිරීම” බව ඉතාලියේ අගමැති කොන්ටෙ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා තවදුරටත් සඳහන් කළේ “අප අනතුරු ඇඟවීම්වලට කීකරු නොවුණොත් ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ ගොස් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකිය. එමෙන්ම නැවත ගොඩ ඒමට නොහැකි තරමේ ආර්ථික පරිහානියකට මුහුණ දීමට සිදු විය හැකියි” කියාය.
ඉතාලිය යනු කොරෝනා ලොව පුරා පැතිර යෑමට පටන්ගත් අවධියේදී මෙම වසංගතයේ මධ්‍යස්ථානයක් බවට පත් වුණු රටකි. ප්‍රවීණයෝ එම ‍රටෙහි විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වීමට හේතු පිළිබඳව කරුණු දක්වති. වහාම රට වැසියන්ව කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණයට භාජනය කළහොත් ජනයා තුළ අනිසි බියක් ඇති වී ඔවුන් රෝගාතුර වේ යැයි සිතීම, මෙම වෛරසයේ භයානකකම පිළිබඳව ඉතාලි ජනතාව දැනුවත් කිරීමට අසමත් වීම සහ නිසි ලෙස සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඔවුන් ඉදිරිපත් කරන හේතු අතරට ඇතුළත්ය. දැඩි ලෙස අගුළු දැමීමකට ලක් වූ ප්‍රථම රට ඉතාලියය. ඒ මාර්තු 9වෙනිදාය. ඉන්පසු ‍රටවැසියන්ට නිවෙස්වල රැඳී සිටින ලෙස නීති පනවනු ලැබූ අතර සියලුම එක්රැස් වීම් තහනම් කරන ලදි. සිල්ලර වෙළඳසැල් සහ ඖෂධාල පමණක් විවෘතව තැබුණු අතර ගමනාගමනයට පොලීසියේ අවසර ලබාගත යුතු විය. අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී වෛරසය ව්‍යාප්ත වන වේගයේ අඩුවක් දක්නට ලැබීය.
අප්‍රියෙල් 14වෙනිදා සිට සමාජ දුරස්ථභාවය වෙනුවෙන් පනවා තිබූ තහංචි මදක් ලිහිල් විය. ඒ අනුව පොත් සාප්පු සහ ඩ්‍රයි ක්ලීනින් වැනි අඩු අවදානම් සහිත ව්‍යාපාර යළි ඇරඹීම සඳහා අවසර ලැබුණි. දැන් අමතර ක්‍රියාකාරකම් සඳහා කාලසටහනක්ද ඇත. තම පවුලේ සාමාජිකයන්ව බැහැදැකීමට සහ හෝටල්වලින් ආහාර මිල දී ගැනීමට මැයි 4වෙනිදා ඉතාලි ජාතිකයන්ට අවසර ලැබීමට නියමිතය. එහෙත් ඔවුන් එකිනෙකා අතර අඩුම තරමින් අඩි 3කවත් පරතරයක් තබාගත යුතු අතර මුඛ හා නාස් ආවරණ පැළඳිය යුතු වේ. උපරිම 15දෙනෙකුගේ සහභාගීත්වයක් ඇතුව අවමංගල්‍ය උත්සව පැවැත්වීමටද අවසර ලැබී තිබේ. ආරක්ෂාව පිළිබඳ නව නීති රීතිවලට යටත්ව කර්මාන්තශාලා, වැඩබිම්, තොග වෙළඳාම් ආදියේ වැඩ නැවත ඇරඹිය හැකිය. සති දෙකකින් පසුව, එනම් මැයි 18 වෙනිදා සිල්ලර වෙළඳාම්, කෞතුකාගාර සහ අනිකුත් පොදු ස්ථානවල වැඩ ඇරඹීමට හැකි වෙයි. අවසාන වශයෙන් කරණවෑමියන්ගේ වැඩ, ආපන ශාලා වැනි එකිනෙකා සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය වන ව්‍යාපාර කටයටුතුද යළි ඇරඹෙනවා ඇති. නමුත් සැප්තැම්බර් මාසය වන තුරු පාසැල් විවෘත නොවන අතර ආගමික රැස්වීම් ඇතුළු විශාල එක්රැස් වීම් පැවැත්වීම තවදුරටත් තහනම්ය.

මේ වන විට ඉතාලි වැසියන් 199,500කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර 27,000ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබේ.

ස්පාඤ්ඤය
ස්පාඤ්ඥයේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ පහළ යෑමක් දක්නට ලැබෙන නිසා දිගටම එවැනි පහළ බැසීමක් සිදු වුවහොත් මැයි මා‍සයේ මුල් භාගයේදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම උදෙසා පනවන ලද නීති රීති ක්‍රමයෙන් ලිහිල් කිරීම ඇරඹිය හැකි බව ස්පාඤ්ඤ අගමැති පීඩ්රෝ සැන්චෙස් මහතා නිවේදනය කළේය. “අප නැණවත්ව කටයුතු කළොත් සහ වාර්තා වෙන රෝගීන් ගණන හොඳ අතට හැරුණොත් මැයි 2වෙනිදා සිට තනිව නිරත වන ශාරීරික ක්‍රියාකාරකම් සහ නිවසේ සිටින අය සමඟ ඇවිදීමට යෑම සඳහා අවසර ලබා දිය හැකියි” කියා ඔහු පැවසුවේය. ඊට ප්‍රථම මෙම සැලසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වේ.
තම නිවසේ ජීවත් වන වැඩිහිටියෙකු සමඟ නිවසින් පිටතට යෑමට, දින කිහිපයකට පෙර ස්පාඤ්ඤයේ ජීවත් වන අවුරුදු 14ට අඩු දරුවන්ට අවසර ලැබුණි. මාස 7ක පමණ ලොක්ඩවුන් කාල සීමාව පුරාම දරුවෝ නිවෙස්වලට කොටු වී සිටියහ. වැඩබිම් සහ කර්මාන්තශාලාවල ව්‍යාපාර කටයුතුද නැවත ඇරඹීම සඳහා අනුමැතිය ලබා දෙන ලදි.
මාර්තු 14වෙනිදා ස්පාඤ්ඤ රජය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර දැඩි නීති යටතේ රට අගුළු දැමීය. කඩසාප්පුවකට සහ ෆාමසියකට යෑමට අවශ්‍ය වූ විට, සතුන්ව ඇවිදීම සඳහා රැගෙන යෑමට අවශ්‍ය වූ විට හෝ නිවසේ සිට රැකියා කටයුතු සිදු කළ නොහැකි අයට රැකියා ස්ථානය සඳහා යෑමට හැරුණු විට වෙනත් කාරණා සඳහා නිවසෙන් පිටතට යෑමට අවසර නොතිබුණි. හෝටල් සහ සිල්ලර ව්‍යාපාර වෙළඳ ස්ථාන ඇතුළු අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන වසා දැමීය.
එක්සත් ජනපදය සහ ඉතාලිය හැරුණුකොට කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට වන්නේ ස්පාඤ්ඤයය. අඟහරුවාදා වන විට ස්පාඤ්ඤයේ ආසාදිතයන් 102,136ක් වාර්තා වී තිබූ අතර මරණ 9053ක් වාර්තා විය.

චෙක් ජනරජය
චෙක් ජනරජය යළි විවෘත කිරීමේ මාස දෙකක සැලැස්මක් පිළිබඳව අප්‍රියෙල් මාසයේ මැද හරියේදී රජය නිවේදනය කළේය. “දැනටමත් කොරෝනා වෛරසය පාලනය වී තිබෙන පරිද්දෙන්ම ඉදිරියටත් පැවතුණහොත් මෙම ක්‍රියාමාර්ග ගත හැකි” බව නියෝජ්‍ය අගමැති කැරල් හැව්ලිසෙක් විසින් ප්‍රකාශ කරන ලදි.
අත්‍යවශ්‍ය නොවන සුළු ව්‍යාපාර අප්‍රියෙල් 20වෙනිදා සිට විවෘත වීමට ඇරඹූ අතර විශාල ව්‍යාපාරික ස්ථාන මැයි 11වන දින සිට ඇරඹේ. විශාල පිරිසක් එක්රැස් වන ස්ථාන, හෝටල් සහ විශාල වෙළඳ මධ්‍යස්ථාන ජූනි 8වෙනිදා විවෘත වීමට නියමිතය. අත්‍යවශ්‍ය නොවන ජාත්‍යන්තර සහ ගෘහස්ථ ගමනාගමන කටයුතු සඳහා පනවා තිබූ තහනමද පසුගිය සතියේදී ඉවත් කරනු ලැබීය.
කොරෝනා මරණයක් වාර්තා වීමටත් කො‍රෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස රට අගුළු දැමීමට පියවර ගත් මුල්ම රටවල් අතරට චෙක් ජනරජයද අයත්ය. මාර්තු මාසයේ මැද හරිය වන විට රජය විසින් දේශ සීමා වසා දැමීමට, පාසැල් සහ අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු වසා දැමීමට සහ සියලුම පොදු උත්සව තහනම් කිරීමට පියවර ගන්නා ලදි. පිටතට යන විට නාස් සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කළ පළමු යුරෝපීය රට වන්‍නේ චෙක් ජනරජයය.
සඳුදා වන විට චෙක් ජනරජයෙන් කොරෝනා ආසාදිතයන් 7400ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබූ අතර 223දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

එස්. දහනායක
(medium වෙබ් අඩවියට Andrea González-Ramírez ලියූ ලිපියක් ඇසුරිනි)