කොරෝනා අගුලු දැමීම හමුවේ ශ්‍රී ලංකාව තුළ තම නිවාඩුව භුක්ති විඳීමට සැලසුම් කරගෙන සිටි තරුණ යුක්රේනියානු පවුලකගේ සිහිනය, සිහිනයක්ම නොවූයේ ඔවුන්ගේ උපකාරයට ඉදිරිපත් වූවන් නිසාවෙන්ය. මේ එවැන්නන් කිහිපදෙනෙකුගේ කතාවය.
වසංගතයක් අතරතුර දිවි ගැටගසාගැනීමට අතමිට හිඟව, උපකාරය සඳහා නැදෑ හිත මිතුරන් නොමැතිව සහ නැවත නිවෙස් බලා යෑමට නොහැකිව විදෙස් රටක් තුළ තම දිවි රැකගැනීම ඉතා අසීරු දෙයක්ය. වසංගතය අතරතුර කරකියාගන්න දෙයක් නොමැතිව
අසරණ වූ යුක්රේනියානු තරුණයෙකු විසින් බෙදාගන්නා ලද වීඩියෝවක් ගත වූ සති අන්තය තුළ සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. ඉතා අසීරු අවස්ථාවක තමාට ලබා දුන් සහයෝගය පිළිබඳව වැලිගම ප්‍රදේශයේ කිහිපදෙනෙකුට ඔහු ස්තුති කරන අයුරු එම වීඩියෝවේ දැකගත හැකි විය.
“අපේ සැලැස්ම තිබුණේ මැයි 1වනදායින් පසුව ශ්‍රී ලංකාවෙන් පිට වී වෙනත් රටකට යන්න” කියා 23 හැවිරිදි යුක්රේනියානු ජාතික ලයිබෝමිර් පැවසීය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ තම බිරිඳ සහ අවුරුදු දෙකහමාරක් වයසැති පුංචි දියණිය සමඟය.

 ශ්‍රී ලංකාවට පැමිණි මුල් දින ඔවුන් හික්කඩුවේ නවාතැන් ගත් අතර පසු දින ගාල්ලට පිටත් විය. දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව සහ බණ්ඩාරණායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළ වසා දමන බව ඔවුන්ට දැනගන්නට ලැබුණේ ගාල්ලේදීය. ඉන්පසු ඔවුන් මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකට මාරු විය. මේ අතරතුර යුක්රේනයේ තිබූ ඔහුගේ ව්‍යාපාරය නවතා දැමුණු අතර ශ්‍රී ලංකාව තුළ සිටින කාල සීමාව තුළ ආදායමක් උපයාගැනීමේ සටනක ඔහු නියුතුව සිටියේය. ජීවන්ත ෂමීන් පෙරේරා සහ එම පුද්ගලයාගේ ව්‍යාපාර සහකරු වන දිමුතු මැදවල මෙම පුංචි පවුලේ උපකාරයට පැමිණියේ එවිටය.

එක් දිනක් පෙරේරා සහ මැදවල විසින් පවත්වාගෙන යන BrizoMirissa නම් හෝටලයේ මෙම පුංචි යුක්රේනියානු පවුල දිවා ආහාරය ගනිමින් සිටින අතරතුර ඔවුන් මුහුණ පා තිබෙන තත්ත්වය පිළිබඳව ඔවුන් එහි කාර්යමණ්ඩලයට පවසන ලදි.
“සති තුනකට කලින් අපේ කාර්යමණ්ඩලයේ එක් සාමාජිකයෙක් මෙම පවුල ගැන තොරතුරු අපට කිව්වා. ඔවුන් අපෙන් නොමිලේ නවාතැන් ඉල්ලුවේ නැහැ. ඒත් පසු දිනම අපි ඔවුන්ට කිව්වා වැලිගම තියෙන Brizo හෝටලයට මාරු වෙන්න කියලා” කුඩා දරුවෙකුට පියෙක් වන පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මැයි 8වනදා සිට මෙම පවුල එම හෝටලයේ නොමිලේ නවාතැන් ගෙන සිටින අතර එම පවුල එය බොහෝ සෙයින් අගය කරයි.
“කොරෝනා වසංගත තත්වය නිසා අපි විදෙස් රටක තනි වුණා. ඒත් හෝටල් අයිතිකරුවන් තම හෝටලයේ තියෙන හොඳම කාමරය අපිට නොමිලේ ලබා දීලා ඔවුන් අපට කොතරම් උපකාර කරනවාද කියා පෙන්නුම් කළා. සාමාන්‍යයෙන් මාසික වියදමට $400-600 වැනි මුදලක් වැය වුවද මුදල් ඉපයීමේ බලාපොරොත්තුවක් නොමැතිව අපට උපකාර කිරීමට අවශ්‍ය වූයේ ඔවුන්ට පමණය” කියා ලයිබොමිර් පවසයි.

ශ්‍රී ලංකාව පුරා මෙවැනි සිදු වීම් වාර්තා විය. ඇල්ල ප්‍රදේශයේ සිටින සංචාරකයන් පිරිසක්ද තමාට ගම රට බලා පිටත් වීමට නොහැකිව අසරණ වූ මොහොතක Chill cafeහි තම උපකාරයට ඉදිරිපත් වූ පිරිසකට ස්තුතිය පළ කර තිබුණි.
මාර්තු 20වනදා සිට කලුතර මහවස්කඩුව ප්‍රදේශයේ අතරමං වී සිටි ඉන්දියානු සංචාරකයෙකු පිළිබඳ කතාවක්ද අපට අසන්නට ලැබිණ.
“සංචාරකයන්ව රැකබලා ගැනීමට අපගේ හෝටල් කාර්යමණ්ඩලයේ 10 දෙනෙක් සේවයේ යෙදෙනවා” කියා Lion Royal Resortsහි ව්‍යාපාර අධ්‍යක්ෂක රොෂි ස්ට්‍රොනැක් පවැසීය. තමා නවාතැන් ගෙන සිටින කලුතර හෝටලයේ සිට තැඹිලි කඩන අයුරු සහ එහි කාර්යමණ්ඩලය සමඟ ක්‍රීඩා කරන අයුරු ඇතුළු දසුන් කිහිපයක් ඇතුළත් වීඩියෝවක් එම සංචාරක තරුණිය විසින් බෙදාහැර තිබුණි. ඇය නවාතැන් ගෙන සිටින Coco Royal Beach හෝටලයට ඇය කෘතඥපූර්වක වන අතර තමා එහි රැඳී සිටින්නේ තම ‘හදපත්ලෙන්ම’ බව ඇය සඳහන් කර තිබුණි.

“උපකාරය අවශ්‍ය තැනැත්තන්ට උපකාර කිරීම අපගේ සංස්කෘතියේම තිබෙන දෙයක්” කියා ස්ට්‍රොනැක් පවසයි. සංචාරක කර්මාන්තය රඳා පවතින්නේ සංචාරකයන් මත බවද “ඔවුන්ට උපකාර අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් වී උපකාර පිරිනැමිය යුතු” බවද ඇය තවදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ තුළ අතරමං වූ සංචාරකයන් 10,000කට පමණ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගින් උපකාර කර තිබේ. එම අධිකාරිය මගින් සංචාරකයන්ට අවශ්‍ය අවස්ථාවලදී ගුවන් ත‍ොටුපොළට නොමිලේ ගමනාගමනය සපයා ඇති අතර සංචාරකයන් වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්ද හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු පැවසුවේ ආගන්තුක සත්කාරශීලි වෙනවාට අමතරව තව කිරීමට බොහෝ දේ තිබෙන බවය. ඇතැම් අවස්ථාවලදී ශ්‍රී ලාංකික සමාජය විසින් සංචාරකයන්ට විරෝධය පළ කර ඇති බව ඇය පිළිගනියි. ඇතැම්විට මෙසේ සිදු වී තිබෙන්නේ එම විදේශිකයන් මගින් Covid-19 ව්‍යාප්ත වන බවට ගැමියන් තුළ හටගත් බිය නිසාය.

“අපි උපයන්නේ සංචාරකයන්ගෙන්. මෙහේ සංචාරක කර්මාන්තය තියෙන්නේ ලොව පුරා රටවලින් ආගන්තුකයන් මෙහි පැමිණෙන නිසයි. ඔවුන්ට අපව අවශ්‍ය වූ විට අප ඔවුන්ට පිහිට විය යුතුය” කියා පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

(Sunday Observer පුවත්පතට ආන්යා විපුලසේන විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක