කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසට දිවිගෙවූ 42 හැවිරිදි තිදරු පියාගේ ඝාතනය ගැන 25 හැවීරිදි පුද්ගලයෙක් සහ එම පුද්ගලයාගේ බිරිඳ කහවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඝාතනය කෙරුණු පුද්ගලයාගේ මව සහ පියා විසින් දරුකමට හදා වඩාගත් තැනත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මියගිය අයත් සැකකරුත් එකම පවුලේ සොහොයුරන් ලෙස ජීවිත් වී ඇති අතර ඔවුන් අතර මීට පෙරදී කිසිඳු ආරවුලක් නොතිබූ බවද පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

 පසුගිය 22 වැනිදා මියගිය අයගේ බිරිඳ කහවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණේ තම සැමියා නිවසේ නැති බවත් නිවසේ වැසිකිළිවළ දෙසිත් දුගඳක් හමන බවත් වැසිකිළිවළේ කොටසක් කඩා සැමියා ගේ සිරුර ඒ තුළට දමා ඇතැයි විශ්වාස කරන බවය.
  ඒ අනුව මිනිස් සිරුරක් වැසිකිළිවළේ ඇතැයි පොලිසිය සොයා ගැනීමෙන් පසු සිරුර ගොඩගැනීමට කටයුතු තළේය. එම්.ඒ. නිශ්ශංක නම් කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ ලිපිනයේ පදිංචි අයගේ සිරුර ඉකුත් 22 වැනිදා ගොඩ ගනු ලැබීය.
ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා නිවසේ නැතිව සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මියගිය අයගේ බිරිඳ සහ දරුවන් ඉකුත් 18 වැනිදා සිට දින තුනක කාලයක් ගොඩකවෙල මහගෙදරට ගොස් ඇතැයි පරික්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

තමන් ඉකුත් 20 වැනිදා යළි පැමිණෙද්දී තම සැමියා නිවසේ නොසිටි බවත් ඔහු කොළඹ ප්‍රදේශයේ පිහිටි වැඩ පොළට යන්නට ඇතැයි සිතු බවත් මියගිය තැනත්තාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබේ. වැසිකිළි වළෙන් දුගඳක් හමන බවට මුලින්ම පවසා ඇත්තේ මියගිය තැනත්තා ගේ සොහයුරියක් විසිනි. ඒ ඉකුත් 22 වැනිදාය.

සිද්ධිය වූ දින අරන් හදාගත් සොහොයුරා සහ ඔහුගේ බිරිඳ මෙම නිවසට පැමිණ සිටි බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ  ඝාතතය කෙරුණු නිශ්ශංක  තම බිරිඳට අතවර කිරීමට පැමිණි නිසා බිරිඳ බේරාගැනීමට පහරදුන් බවයි.

නිශ්ශංක මරණයට පත්වීමෙන් පසු ලේ තැවරුණු ස්ථාන සැකකරු විසින් සෝදා පිරිසුදු කර ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරුගේ 18 හැවිරිදි බිරිඳ සිද්ධිය වූ නිවෙසින් එදින රාත්‍රි පිටත්ව ගොස් ඇති අතර ඝාතනය කෙරුණු පුද්ගලයා වැසිකිළි වළට දමා සැකකරු පසුදින එම නිවෙසින් පිටත්ව කහවන්ත කෙටේතැන්නේ මහ
ගෙදරට පැමිණ තිබේ.  එහි සිටියදී සැකකරු සහ ඔහුගේ බිරිඳ කහවත්ත පොලිසිය විසින් 23 වනදා අත් අඩංගුවට ගනු ලැබූහ.

පැල්මඩුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සරත් පිටගම්පොළ මහතා සිද්ධිය වූ නිවෙස වෙත පැමිණි ස්ථානීය පරික්ෂණය පැවැත්විය.
කහවත්ත පොලිසියේ ස්ථානාධිපති අතුල පෙරේරා මහතා ගේ මෙහෙයවීමෙන් පරික්ෂණ සිදු වේ.  රත්නපුර සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර මහතා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරික්ෂණය මෙහෙය වීය.

(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා සහ
කහවත්ත තුෂාර හෙට්ටිආරච්චි)