කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලෙන් ඊයේ (27) වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ බවට
තහවුරැ වී ඇත්තේ නාවික හමුදා සෙබළෙකුට බවද පැවසුවේය.
ආසාදිත පුද්ගලයා වාර්තා වීමත් සමගම එම ගොඩනැගිල්ල තුල රඳවා සිටින 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදීම නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට  පියවර ගත් බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවයි.

හුදෙකලා කරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුර සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ වැලිසර රෝහලේ අවශ්‍යතා සැපයිම සඳහා යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා භට පිරිස බාහිර සමාජය සමග මිශ්‍ර නොවන අයුරින් ආරක්ෂා සහිතව එම ගොඩනැගිල්ලේ රඳවා සිටි බවයි.