කො‍රෝනා ‍හේතුවෙන් බොහෝ ආයතනවල ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබේ. එය නැවත යථා තත්වයට පත් කරගන්නේ කෙසේද? ආයතන සේවකයන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද? මේ පිළිබඳව කිෂූ ගෝමස් මහතා  පුවත්පතකට පළ කළ අදහස් මෙසේය.

අප මුහුණ දෙන වසංගත තත්වය නිසා බොහෝ ආයතන සේවකයන් මානසික වැටීමකට මුහුණ දෙමින් සිටී. සෑම සේවකයෙකුම පාහේ මානසික ආතතිය,
කනස්සල්ල සහ මානසික පීඩනය සමඟ තරඟ කරන අතර රැකියා ස්ථානයේදී මුහුණ දීමට සිදු වී තිබෙන අලුත් තත්වයන් සමඟ සමබරව කටයුතු කිරීමටද වෙර දරයි. මෙම කාලය තුළ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට නම් වඩා වැදගත් වන්නේ සේවකයන්ගේ ශුභසිද්ධිය පිළිබඳව අවධානය යොමු කිරීමය. එනම් හදිසියේ මුහුණ පෑමට සිදු වූ මානසික වෙනස් වීමෙන් ගොඩ ඒමට ඔවුන්ට උපකාර කළ යුතුය. ඔවුන් තුළ තිබෙන බිය නැති කර දැමිය යුතුය. ඔවුන්ගේ බිය නැති කිරීමට, මතු වී තිබෙන සියලුම ගැටලුවට පිළිතුරු ඔබ සතුව තිබිය යුතු නැත. අප මුහුණ දෙන්නේ බලාපොරොත්තු නොවන දේවලටය. අප සියලුදෙනාම මෙම ගැටලුවට පිළියමක් සොයමින් සිටින්නෙමු.


ඔබගේ ආයතනය සේවකයන් තුළ අස්ථීරභාවය සහ කනස්සල්ල ඇති කරන ස්ථානයක් බවට පත් කරනවා වෙනුවට ආරක්ෂිත සහ විශ්වාසය තැබිය හැකි ස්ථානයක් බවට පත් කරන්න. මෙම විපත් කාලවලදී ඔබේ සේවකයන් ඔබෙන් බලාපෙ‍ාරොත්තු වන්නේ උපකාරයකි. ඔවුන්ට කනස්සල්ලක් දැනෙන බව, නොවිසඳුණු  ගැටලුකාරී තත්වයකින් ඔවුන් පසු වන බව සහ ඔවුන් තමාගේ සහ තම පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන බව අවබෝධ කරගන්න. ඔවුන්ට ඇහුම්කන් දීමට කාලය යොදවන්න. ඔවුන්ට අවශ්‍ය තොරතුරු සහ මූලාශ්‍රවලට පිවිසීමට ඔවුන්ට ඉඩ ප්‍රස්තාව ලබා දී තිබෙන බවට සහතික කරගන්න. මෙය රැකියා ප්‍රධානීන්, කළමනාකරුවන් සහ සේවකයන් ඇතුළු සියලුදෙනාටම අවුල්සහගත කාල සීමාවකි.

විශේෂයෙන්ම පවතින වාතාවරණය යටතේ යම් කාලයක් පුරා නිවසට වී වැඩ කිරීමට සිදු වීම ඔබේ සේවකයන්ගේ මානසික සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම බලපෑම් ඇති කළ හැකිය. මෙය සිදු වන්නේ ඔවුන්ට හුරු පුරුදු කාර්යාල වටපිටාව මඟ හැරීම හේතුවෙන් ඇති වන හිස් බව නිසාය. මන්ද කාර්යාලයේදී ඔවුන්ට තමා සමඟ රැකියාවේ නිරත වන පුද්ගලයන්ව මුණ ගැසීමටද ඔවුන් සමඟ කතා බහ කිරීමටද අවස්ථාව ලැබෙන අතර කාර්යාලය තුළ ඉතා සජීවී පසුබිමක් නිර්මාණය වේ. නමුත් සියලුම සේවකයන් එකිනෙකාගෙන් වෙන් වීමේදී එම අවකාශය සේවකයන්ගෙන් ගිලිහී යයි. මෙමගින් සේවකයන් තුළ ඇති කරන බලපෑම සැහැල්ලු කළ හැකි එකම ආකාරය වන්නේ දින 7ම පැය 24ම ඔන්ලයින් මාධ්‍ය හරහා සේවකයන්ට රැඳී සිටිය හැකි virtual community එකක් නිර්මාණය කිරීමය. ඔබේ සේවකයන් නිවසට කොටු වී සිටියද ඔවුන්ට තම හදවතේ ඇති දේ කතා කළ හැකි සහ ඔවුන් රැකියා ස්ථානයේදී පවත්වන මිතුදම් පවත්වාගත යා හැකි ආකාරයට එම virtual community එක පවත්වාගන්න.

ඔබ සේවකයන්ගෙන් බලාපොරොත්තු වන දේ ඔවුන්ට පැහැදිලිව දැනුම් දෙන්න, නමුත් නම්‍යශීලි වෙන්න
ඔබේ සේවකයන් දැන් ගත කරමින් සිටින්නේ ඔවුන්ට හුරුපුරුදු ජීවන රටාව නොවේ. වැඩ කිරීමට නව සැලැසුම් බිහි වී තිබීම, ඔවුන්ගේ දරුවන්ව රැකබලා ගැනීමට තිබීම සහ අස්ථීරභාවය ඔවුන්ගේ නව ජීවන රටාවට එකතු වී තිබේ. ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ඔවුන්ට පැහැදිලිව දන්වන්න. ඔවුන් සමඟ අවංකව සහ විවෘතව කතා කරන්න. ඔබේ සේවකයන් ඔවුන්ට පවරා ඇති කාර්යය ඉටු කරන බවට විශ්වාස කරන්න. නමුත් නියමිත වැඩ දිනය ඇතුළත එය සිදු කිරීමට ඔවුන් අසමත් විය හැකි බව තේරුම්ගන්න.


ඔබේ සේවකයන්ගේ අනුමැතිය ලබාගැනීම සහ ඔවුන්ට ඔබේ අනුමැතිය ලබා දීම මගින් ඔවුන් තුළ විශ්වාසයේ හැඟීමක් ජනිත කළ හැකි අතර යථාර්ථවාදී වීමට එය උපකාරී වේ. ඔබේ සේවකයන්ට ස්තුති කරන්න. ඔබ ආයතනයට ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය බව ඔවුන්ට පවසන්න. ඔවුන් ලබා දෙන දායකත්වය ඔබ අගය කරන බව පෙන්වන්න. ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපත පිළිබඳව ඔබ කැප වන බව ඔවුන්ට සහතික කරන්න.

කළමනාකරුවෙක් සහ ආයතන ප්‍රධානියෙක් ලෙස ඔබට කළ හැකි හොඳම දෙය වන්නේ දිගටම ආයතනයේ ඉලක්කයට ඇලී සිටීමය. ඔබේ දරුවන්, විවාහක කලත්‍රයා සහ නිවසේ ඔබ සමඟ රැඳී සිටින පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු නිසා මෙය පෙරට වඩා අභියෝගයක් විය හැකි බැවින් ඔබ අතරේ පොදු අරමුණක් තබාගන්න. ඔබේ සේවකයන්ට විවේකයක් ලබාගැනීමට උනන්දු කිරීම සහ ඔන්ලයින් මාධ්‍ය හරහා සමාජ සම්බන්ධතා පවත්වාගැනීමට උනන්දු කිරීම ඵලදායීතාවය සඳහා මෙන්ම හොඳ මානසික සෞඛ්‍යක් පවත්වාගැනීමට උපකාරවත් වේ.

ඉදිරියේදී තරඟකාරී රැකියා වාතාවරණයක් නිර්මාණය වන බැවින් ඔබේ සේවකයන්ව රැකියාවේ හවුල් කර ගැනීම වැදගත්ය. ඔබ ආයතනයට අවශ්‍ය දේපළ සහ සම්පත් රැස් කර තබාගැනීම මෙම තරඟයේ වේගයෙන් ඉදිරියට ගමන් කිරීමට වැදගත් විය හැකි නමුත් ඔබ ආයතනයේ සාර්ථකත්වය මූලිකවම රඳා පවතින්නේ ඔබේ සේවකයන් මතය.

ඔබේ සේවකයන්ගේ සහයෝගය නොමැතිව ඔබ ආයතනය ඉහළට ගෙන ඒමට සිහින මැවීම නිරර්ථකය. ඔවුන් කොහේ සිටියත් ඔවුන්ව සෑහීමට පත් කිරීමට සහ ඔවුන්ව උනන්දු කර තබාගැනීමට ආයතන ස්වාමියෙක් ලෙස ඔබ ක්‍රියා කළ යුතුය.

පවතින වාතාවරණය යටතේ ඔබේ සේවකයන්ව රාජකාරි වෙනුවෙන් යෙදවීම අපහසු කාර්යයක් ලෙස පෙනෙන්නට තිබුණද එය එසේ නොවේ. මන්ද තාක්ෂණ මගින් එම ගැටලුවට පිළියම් යොදා තිබෙන බැවින් Vantage Circle වැනි ඔන්ලයින් ක්‍රම ඔස්සේ ඔබේ ආයතනයේ සේවකයන්ව රාජකාරී සඳහා සම්බන්ධ කරගත හැකිය. ඔබේ සේවකයන්ව රාජකාරියේ යෙදවීම සඳහා මෙවැනි ක්‍රම යොදාගැනීම රඳා පවතින්නේ ආයතන ප්‍රධානීන් වන ඔබ මතය. වැඩි ඵලදායීතාවයක් වෙනුවෙන් ඔවුන්ගේ සිත් ධෛර්යයවත් කර ඔවුන්ට රාජකාරිය සඳහා උනන්දුවක් ඇති කරගැනීමට උපකාර කිරීමේ වගකීම ඔබ සතුය.

(Sunday Observer ඇසුරිනි)
එස්. දහනායක
[May16, 2020 - Gossiplankanews.com]