වැඩිහිටියන් තුළ දක්නට ලැබෙන COVID-19 රෝග ලක්ෂණ අනෙක් ආසාදිතයන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණවලට වඩා වෙනස් විය හැකි බවට විශේෂඥ වෛද්‍ය අචලා බාලසූරිය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කර තිබේ.
වැඩිහිටියන් තුළ රෝග ලක්ෂණ වෙනස් වන්නේ කෙසේද යන්න ගැන
ඇය දැක්වූ අදහස් පහතින් දැක්වේ.
COVID-19 මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, මස්පිඩු වේදනාව සහ තෙහෙට්ටුවය. එමෙන්ම හිසරදය, ශ්වාස නාල‍ය හරහා සෙම ආදිය පිට වන කැස්ස, නොදැනුවත්ව මලපහ පිටවීම, ගද සුවඳ සහ රසය නොදැනීම සහ ඇස් රතු වීමද දැකගත හැකිය.
රෝග ලක්ෂණ මතු වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර රෝගය වර්ධනය වීමට සාමාන්‍යයෙන් දින 14ක් ගත වේ. නමුත් වාර්තා පෙන්වා දෙන පරිදි සමහර පුද්ගලයන් තුළ එම රෝගය වර්ධනය වීමට දින 37ක් තරම් දිගු කාලයක් වුවද ගත විය හැකිය.
වැඩිහිටි පුද්ගලයන්ට COVID-19 වැළඳීමේ අවධානම වැඩිය. එමෙන්ම අධිරුධිර පීඩනය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වන පෙනහළු රෝග, පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග, තරබාරුකම, අක්මාව ආශ්‍රිත රෝග සහ දියවැඩියාව තිබෙන පුද්ගලයන්ටද COVID-19 වැළඳී‍මේ වැඩි අවධානමක් පවතී.

වැඩිහිටි පුද්ගලයන් තුළ ඇති වන රෝග ලක්ෂණ

මහලු වයසේදී බොහෝ සංකූලතා ඇති වන නිසා COVID-19 වැළඳී‍මේ ඉහළම අවදානමක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ටය. අවුරුදු 80ක් හෝ ඊට වැඩි පුද්ගලයන්ගෙන් 13.4%ක් COVID-19 හේතුවෙන් මිය යන බව ගණන් බලා තිබේ. නමුත් අවුරුදු පනස් ගණන්වල සහ හතළිස් ගණන්වල පසු වන පුද්ගලයන්ට තිබෙන අවධානම මීට වඩා අඩුය.
එමනිසා වැඩිහිටියන්ට ඇති වන COVID-19 රෝග ලක්ෂණ හඳුනාගැනීම වැදගත් වේ. මන්දයත් සමහර අවස්ථාවලදී ඔවුන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ පොදුවේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ නොවේ.
සමහර අවස්ථාවලදී ආසාදිත වැඩිහිටියෙකු තුළ උණ හෝ කැස්ස දැකගත නොහැකිය. නමුත් හිටිහැටියේම කෑම පිරිය නැති වීම, එක්වරම ව්‍යාකූල වීම, හොඳින් ඇවිදීමට අපහසු වීම හෝ ඇද වැටීම වැනි ලක්ෂණ දැකගත හැකිය.
COVID-19 ආසාදිත වැඩිහිටි පුද්ගලයන් තුළ දක්නට ලැබෙන නිශ්චිත සහ නිශ්චිත නොවන ලක්ෂණ ස්විට්සර්ලන්තයේ විශ්වවිද්‍යාලයක ‍වැඩිහිටි රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් වන සිල්වෙයින් නූයෙන් විසින් Revue Medicake Suisse නම් පුවත්පතෙහි ලැයිස්තුගත කර තිබුණ.
නිශ්චිත නොවන ලක්ෂණ වන්නේ රෝගියාගේ සාමාන්‍ය තත්වයේ වෙනස්කම් දක්නට ලැබීම, උමතුවෙන් මෙන් හැසිරීම, ඇද වැටීම, තෙහෙට්ටුව, අලසකම, අඩු රුධිර පීඩනය, ගිලීමේදී වේදනාවක් ඇති වීම, කලන්තය, අජීරණය, කරකැවිල්ල, වමනය, උදරයේ වේදනාව සහ ගඳ සුවඳ හා ‍රසය නොදැනීමය.
ඉහත කී රෝග ලක්ෂණ ඇති වීමට බලපාන්නේ පුද්ගලයෙකු මහලු වීමේදී සෛලද මහලු වන නිසා සාමාන්‍ය පරිදි ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ඇති වන ශාරීරික වෙනස්කම්ය.

උණ ඇති නොවීම

මහලු වයසට පැමිණීමේදී වෛරස් ආසාදනයකට ප්‍රතිරෝධය දැක්වීමට ශරීරයට තිබෙන හැකියාව අඩු වේ. වෛරසවලට මුලින්ම ප්‍රතිචාරය දක්වන්නේ ඇටමිදුළු තුළ නිපදවෙන සුදු රුධිරාණු සෛල (T සහ B සෛල) මගිනි.
ආක්‍රමණශීලිී වෛසරවලට එරෙහි වී ඒවා විනාශ කර දැමීමට සුදු රුධිරුණු මගින් ප්‍රතිදේහ නිපදවනු ලබන අතර වෛරසය ඇතුල් වූ ධාරක සෛලය හානි වීමෙන්ද ආරක්ෂා කරයි. නමුත් මහලු වීමේදී ඇට මිදුළු තුළ නිපදවෙන සුදු රුධිරාණු සෛල ප්‍රමාණය අඩු වන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය ශරීරයෙන් ඉවත් කිරීමට ශරීර උෂ්ණත්වය ඉහළ දැමීම (උණ ඇති වීම) ආදී ප්‍රතික්‍රියා සිදු නොකරයි. එමනිසා උණ සහ කැස්ස වැනි නිශ්චිත රෝග ලක්ෂණ වැඩිහිටි පුද්ගලයන් තුළ ඇති නොවිය හැකිය.‍

මානසික ව්‍යාකූලත්වය

COVID-19 රෝගයෙන් පෙළෙන වයෝවෘද්ධ පුද්ගලයෙක් තුළ මානසික ව්‍යාකූලත්වයක් (උමතුවක්) ඇති විය හැකිය. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයන්ට සෙම්ප්‍රතිශ්‍යාව සහ මුත්‍රා ආසාදන ඇති වීමේදී හිටි හැටියේම උමතු තත්වයක් ඇති වීම දැකගත හැකිය. COVID-19 වැළඳී ඇති විටද මෙය දැකගත හැකිය. මීට සැබෑ හේතුව එතරම් පැහැදිලි නැතත් එසේ සිදු වන්නේ කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් තුළ ප්‍රතිශක්තිකරණ සෛල අධික ලෙස ක්‍රියාත්මක වීම (cytokine storm) හේතුවෙන් බව සමහර විද්‍යාඥයන්ගේ මතයය.

කැස්ස ඇති නොවන්නේ මන්ද?

සාමාන්‍යයෙන් මිනිස් ශරීරයකට වෛරසය ඇතුල් වූ විට එය ශ්වාස නාළවලට සහ පෙනහළුවල බලපෑම් ඇති කරන අතර ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශ්වාස නාළ තුළ ස්‍රාවයක් නිපදවා කැස්ස ඇති කරයි. නමුත් වයසින් වැඩි පුද්ගලයන් තුළ ප්‍රතීක කැස්ස (cough reflex) ඇති වීමේ හැකියාව අඩු වන නිසා කැස්ස වෙනුවට ඒ පුද්ගලයාට අධික තෙහෙට්ටුවක් සහ අලසකමක් දැනිය හැකිය. සමහර අවස්ථාවලදී හෘදයාබාධයක් වැනි පෙර ඇති වී තිබෙන තත්වයක් ප්‍රතීක කැස්ස ඇති වීමට බාධා කළ හැකිය.
එමනිසා වැඩිහිටි පුද්ගලයෙකු තුළ කැස්ස සහ උණ නොතිබූ පමණින්ම COVID-19 වැළඳී ඇත්දැයි පරීක්ෂා නොකර සිටීමට එය හේතුවක් වන්නේ නැත.
වෛරසය වැළදී තිබෙන පුද්ගලයන් ගණන දිගින් දිගටම ඉහළ යමින් පවතී. මෙම වෛරසයට ගොදුරු වීමේ වැඩි අවධානමක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ට වන නිසා අප ඔවුන්ව රැකගත යුතුය. වෛරසය හේතුවෙන් නියුමෝනියා තත්වයක් සහ ශරීරය තුළ තිබෙන අවයව කිහිපයක් නිසි පරිදි ක්‍රියාත්මක වීමට බාධා ඇති වුණොත් එම පුද්ගලයන්ට දැඩි සත්කාරය ලබා දීම අවශ්‍යය. දැඩි සත්කාර ඒකකවල බො‍හෝ කලක් රැඳී සිටීමටද සිදු වනු ඇත.
එම නිසා වැඩිහිටි පුද්ගලයන්ව නිවෙස් තුළම රඳවා තබාගෙන ඔවුන්ව මෙම වෛරස් වසංගතයෙන් ආරක්ෂා කරගනිමු. එමෙන්ම ඔවුන් තුළ මතු විය හැකි නිශ්චිත නොවන COVID-19 රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිමු.

එස්. දහනායක
(Sunday Times පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරිනි)
[May04, 2020 - Gossiplankanews.com]