හෙට 11 දින රජයේ හා පුද්ගලික අංශයේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් පහත පරිදිය.
හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ඇඳිරි නීතිය
පවත්වාගෙන යන අතරතුර එදිනෙදා කටයුතු ආරම්භ කරනු ලබයි. නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව නිරෝධායන රීතීන් වලට ගරු කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, ආර්ථිකය ගොඩනැංවීම හා ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන කාරණා මත මෙම තත්ත්වය ගොඩනංවා ඇත.


හෙට (11) දින රාජ්‍ය අංශයේ සේවකයින් තම සේවා ස්ථානයට පෙරවරු 08.30 ට පෙර වාර්ථා කළයුතු අතර පුද්ගලික අංශයේ සේවකයින් රාජකාරි ආරම්භ කිරීම පෙරවරු 08.30 ත් 10.00 ත් අතර කාලය තුළ වාර්ථා කිරීම උචිත වේ. එසේම, එම සේවකයින් නැවත රැගෙන යෑම වස් රාජ්‍ය සේවකයින් සඳහා පස්වරු 03.00 - 04.00 ත් අතර සහ පුද්ගලික අංශය සඳහා පස්වරු 04.00 - 05.00 ත් අතර කාලය තුළ පිටව යෑම නිර්දේශ කරනු ලබයි. මෙම කාලයන්ට අනුගතව ඔබ ගමන් කරන්නේනම් වාහන තදබදය සහ වාහන පරික්‍ෂා කිරීමට අවශ්‍යනම් එය පහසුවක් වන බැවිණි. නමුත් සේවා මුර ලෙස රාජකාරි ඉටු කරනු ලබන රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා මෙම රීතිය වලංගු නොවේ. එසේම, පුද්ගලික වාහන මඟින් සේවා ස්ථානයට ගමන් කරන්නේනම් එය සනාථ කළයුතු අතර බස්නාහිර පළාත තුළ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගමන් කිරීමට අවසර ලබා නොදෙනු ඇත. එසේ සිදු කරන්නේනම් එය ඇඳිරි නීති කැඩීමක් වේ.

එසේම, 2019 - 04 - 17 දින කොවිඩ් වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිර්නායක කෙරෙහි සියළුදෙනා අවධානය යොමු කළයුතු වේ. ත්‍රී රෝද රථ, කුලී රථ හා පොදු ප්‍රවාහන සේවා ලබාගන්නේනම් (ත්‍රී රෝද රථයක දෙදෙනෙක් සහ මොටර් රථ සඳහා තිදෙනෙකු වශයෙන්) එය නිරෝධායන රීතීන්ට අනුකූලව සිදුකළයුතු වේ. ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇති ආකාරයට තම සේවකයින් එම පරිපාලන දිස්ත්‍රික්කය තුලින් ගෙන්වාගැනීමට කටයුතු කළයුතු අතර අත්‍යවශ්‍යතාවයක් වුවහොත් පමණක් පිටස්තර පරිපාලන දිස්ත්‍රික්කයක් වෙතින් සේවකයන් ගෙන්වාගත හැක. සියළුම රාජ්‍ය හෝ පුද්ගලික සේවකයන් සඳහා අනන්‍යතාවය ඔප්පු කළහැකි හැඳුනුම්පතක් තිබීම හා එදිනට රාජකාරි සඳහා සේවා ස්ථානයට වාර්ථා කළයුතු බවට ආයතනය විසින් ලබාදී ඇති අවසරපතක් (ඉලෙක්ට්‍රොනික, කෙටි පණිවිඩ හෝ වෙනත් ක්‍රම) තිබීම අනිවාර්ය වේ.

ඉදිකිරීම් සඳහා ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සිදුකළහැකි අතර සැලුන් සහ රූපලාවන්‍යාගාර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අවසරය මත පවත්වාගෙන යා හැක. එසේම, පිසූ ආහාර අලෙවි කරනු ලබන ස්ථාන (හෝටල් සහ තේ කඩ) විවෘත කිරීම සඳහා අවසර නොලැබෙන අතර ඩිලිවරි හෝ ඔන්ලයින් ක්‍රමයට ආහාර බෙදාහැරීම සඳහා අවසර ලැබෙනු ඇත. විශේෂයෙන් නවාතැන් පහසුකම් සහිත හෝටල් නීරෝධායන ප්‍රතිපත්තියට අනුව සිදුකළ හැකි අතර රෙස්ටූරන්ට් පවත්වාගෙන යාම සඳහා අවසර නොලැබෙනු ඇත.


නිෂ්පාදනාගාර, සාමාන්‍ය වෙළෙඳසැල් හා අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථාන සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ආරම්භ කළහැකි අතර සම්භාහන මධ්‍යස්ථාන, සතිපොළ, කායවර්ධනාගාර හා සමාජශාලා විවෘත කිරීම සඳහා අවසර නොලැබෙනු ඇත. එසේම, පුද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුව සිදුකළ යුතු වේ.

මීට පෙර හඳුන්වා දී ඇති හැඳුනුම්පත් ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කරුණක් (ඖෂධ, ආහාර මිලදී ගැනීම) සඳහා ස්ථීර පදිංචි ස්ථානයේ සිට පයින් ගොස් ලඟම ඇති ස්ථානයෙන් අවශ්‍යතාවය ඉටුකරගත හැක. එසේ ක්‍රියා නොකරන පුද්ගලයින්ට නිරෝධායන රීතීන්ට අනුව නීතිමය පියවර ගනු ලබයි.


පෝලිම් සැදී සිදුකරනු ලබන ක්‍රියාවන් (බිල් ගෙවීම්, භාණ්ඩ මිලදී ගැනීම) සිදුකරනු ලබන ආයතන හා වෙළෙඳසැල් නිරෝධායන ක්‍රමවේදයට අනුව සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි හා සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකිරීම සඳහා ආයතන ප්‍රධානින් වගකිව යුතු වේ. එසේම, පරික්‍ෂා කිරීම සඳහා ඔබ ආයතනය වෙතට පැමිණෙන සෞඛ්‍ය නිලධාරි හා ආරක්‍ෂක අංශ නිලධාරින් වෙත සහයෝගය ලබාදෙන ලෙස දන්වා සිටිනු ලැබේ. බස්නාහිර පළාත තුළ හෙට දිනයේ පොලිස් නිලධාරින් 10000 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරින් සඳහා යොදවනු ලැබේ.