අගුලු දැමීමේ කාලසීමාව තුළ ඇතැමුන් අර්ථවත් ලෙස තමන්ගේ ජීවන රටාවන් වෙනස් කරගෙන තිබේ. මේ අතරතුර නිළියක වන නිධි අගර්වාල්ද නව භාෂාවක් ඉගෙන ගනිමින් සිටින බවට බොහෝ ප්‍රචාරයන් පලවිය.

නිළි නිධි අගර්වාල් දෙමළ සිනමා කර්මාන්තයට ප්‍රවිශ්ට වීමට සූදානම්ව සිටී. ඊට පිටිවහලක් ලෙස ඇය මෙසේ ඉගෙනගන්නේ දමිළ භාෂාවයි.  ට්විටර් සටහනක් මගින් නිධි අගර්වාල් 
තමා නව භාෂාවක් ඉගෙන ගන්නා බව හෙළි කළ අතර කඩදාසියක කිසියම් වචන කිහිපයක් සඳහන් කරමින් ඇගේ රසිකයන්ගෙන් එය කුමන භාෂාව ද යන්න අනුමාන කරන ලෙස ඉල්ලා තිබේ. එහි 'කවුද, කුමක්ද, කොහේද, ඇයි' වැනි පොදුවේ භාවිතා වන ඉංග්‍රීසි වචනවල දෙමළ පරිවර්තන කිහිපයක් සටහන් කර ඇත. කෙසේවෙතත් නිධි අගුලු දැමීමේ කාල සීමාව ඉතා ප්‍රයෝජනවත් අයුරින් ගත කරන අයුරු පෙනෙන්නට තිබේ.


ඇය දෙමළ භාෂාව ඉගෙන ගන්නවා යැයි බොහෝ දෙනා අනුමාන කළ නමුත්  අන්තර්ජාලයේ ඇගේ රසිකයින් කොටසක් තෙළිඟු භාෂාව ඉගෙන ගන්නා ලෙසද ඇගෙන් ඉල්ලා ඇත. ඒ ඇය ප්‍රධාන වශයෙන් ටොලිවුඩයේ වැඩ වල යෙදෙන බැවිනි. එයට ප්‍රතිචාර වශයෙන් වැඩි කල් යන්නට මත්තෙන් ඇය ඊට තෙළිඟු බසින් පිළිතුරක් දුන් අතර ඇය එම භාෂාව දන්නා බව පැවසා ඇත.

ඇය චිත්‍රපට කර්මාන්තයට පිවිස ඇත්තේ 2017 වසරේදීය. ඇගේ පළමු බොලිවුඩ් චිත්‍රපටයෙන් පසුව ඇය තෙළිඟු චිත්‍රපට වෙත අවධානය යොමු කර තිබේ. එමෙන්ම  ජයරාම් රවී සමග ‘භූමි’ චිත්‍රපටයේ රඟපෑමෙන් ඇය කෝලිවුඩ් සිනමාවට පිවිසී ඇත. එය මැයි මාසයේදී තිරගත වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය තිරගත වීමට තිබූ දිනයන් වෙනස් කර තිබේ. කෙසේ වුවද නිළි නිධි අගර්වාල්ගේ මෙම නව උත්සාහය බොහෝ දෙනාගේ ඇගයීමට පාත්‍ර වී තිබේ.
(රිෂ්මි ඉෂාරා)