කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් පන්දාහෙන් තමන්ටත් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් නොදුන්නා යැයි පුද්ගලයකු සිය බිරිය නිවෙසින් එළවා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගම්බදකින් වාර්තා වෙයි.

කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 71 ක හා 68 හැවිරිදි වයෝවෘද්ධ යුවළක් පදිංචිව සිටිති. කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් සෑම පවුලකටම රුපියල් 5000ක මුදලක් ලබාදෙන අතර, අප්‍රේල් මාසයේ දුන් රුපියල් 5000 මුදල සැමියා ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගෙන, සිය බිරියට ද රුපියල් 2500 ක මුදලක් ද ගෙනත් දී ඇති බව ද වාර්තා වෙයි.

 මැයි මාසයේ රුපියල් 5000ක මුදල ඉකුත් 25 දා සමෘද්ධි නිලධාරියා විසින් ගෙවන බවට සැමියාට අසල්වැසි පදිංචි  පුද්ගලයකු දන්වා තිබුණි. කෙසේ වෙතත් ඒ වෙනකොට පැවති අසනීප තත්වයක් උත්සත්ත වීම හේතුවෙන් වයෝවෘද්ධ පුද්ගලයාට මීටර් 800ක් පමණ ඈතින් පිහිටි සමෘද්ධි කාර්යාලයට පා ගමනින් යාමට නොහැකිවීම හේතුවෙන් සිය බිරිඳට එම මුදල ලබාගෙන එන ලෙස නිවසින් පිටත් කර යවා ඇත.

සමෘද්ධි නිලධාරියා අදාළ කාන්තාවට සිය සැමියාගේ නමින් තිබූ රුපියල් 5000 මුදල ලබාදී තිබුණි. රුපියල් 5000 ක මුදල රැගෙන නිවසට ආ කාන්තාවගෙන් 2500 ක් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් කාන්තාව සිය සැමියා ඉල්ලා ඇතැයි කී මුදල දී නොමැති අතර, නිවසේ තිබූ කොස්ස ගෙන සැමියා සිය බිරියට කොස්සෙන් පහර දෙකක් එල්ල කිරීමෙන් පසුව, ඇය අසල පදිංචි පුතාගේ නිවසට දිව ගොස් නිවසේ සිටි මල්ලිට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇත, පසුව ලේලිය නැන්දම්මාගේ අත තිබූ මුදල්වලින් 2500 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන මාමණ්ඩියට ගිහින් දී තිබුණි.

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)