ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාවට ජුනි මාසය සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදෙන මෙන් රජයට දැනුම් දීමක් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට කියා තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය
නම් දේශපාලන මැදිහත් වීමකින් තොරව අදාළ කටයුතු සිදු කරන්නැයි අදාළ ලිපියෙන් පෙන්වාදුන් බවය.
“එදිනෙදා ආදායම් අහිමි වෙච්ච අයට නේ 5000 දුන්නේ. දැන් රට සාමාන්‍ය තත්වයට පත්වෙලා නම්, සමහර අයට රැකියා කරන්න පුළුවන් තත්වයට පත් වෙලානම් ඒක දෙන්න ඕනද නැද්ද කියන එක සළකා බලන්න අපි කියලා තියෙන්නේ. දෙන්න කියලා අපෙන් ඇහුවෙත් නෑ. අපි දෙන්න එපා කියලත් නෑ.

අපිට පැමිණිළි ලැබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන්. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ වල ලේකම්වරුත් ඒ රැස්වීමේ හිටියා. ඔවුන්ටත් ඕන නම් ඒ වෙලාවේ උත්තර දෙන්න තිබුණා. අපි වැදගත්ම කරුණක් කියලා තියෙනවා මේ වැඩසටහනට ප්‍රාදේශීය හෝ ග්‍රාමීය දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින්න කියලා.”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.