සුනඛයෙකුගේ අන්නස්‍රොතයෙන් අඟල් 4 ක ලෝහ ගෑරුප්පුවක් ඉවත් කළ පශු වෛද්‍යවරයෙකු  පිළිබඳ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සැත්කම සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පශු වෛද්‍යවරයෙකු විසිනි.
පසුගිය අප්‍රේල් මස 29 වන දින මෙසේ මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කර ගැනීමට ඔහුට හැකි වී ඇත. මෙම සායනයේදී අඟල් 4 ක් දිග ලෝහ ගෑරුප්පුවක් මෙම සුනඛයා විසින් ගිල දමා ඇති බව සොයාගෙන තිබුණි. මෙසේ ගෑරුප්පුවක් ගිල දමා ඇත්තේ golden retriever නම් සුනඛ වර්ගයට අයත් කුඩා සුනඛයෙකි.

පශු වෛද්‍යවරුන් විසින් මෙම සුනඛයාගේ ශරීරය තුළ තිබූ අඟල් හතරක ගෑරුප්පුව පිටතට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් බොහෝ දෙනා අතර බෙදා හදා ගෙන තිබුණි. ඇඩිලේඩ් සත්ව හදිසි හා යොමු කිරීමේ මධ්‍යස්ථානය පවසා ඇත්තේ මෙම සුනඛයාගේ හිමිකරුවන් වන මයිකල් සහ එලිස් සඳුදා සායනය අමතා ඔවුන්ගේ සුරතල් සුනඛයා රාත්‍රී ආහාර ගැනීමේදී ලෝහ ගෑරුප්පුවක් ගිල දැමූවේයැයි පැවසූ බවයි. සායනයේ පශු වෛද්‍යවරයෙකු වන වෛද්‍ය මැට් වුඩ්රෆ් ලෝහ ගෑරුප්පුවක් එක්ස් කිරණ ඡායාරූප මගින් දුටු විට තමා කම්පාවට පත්වූ බවද පවසා තිබුණි.

අවසානයේ සුරතල් ඩස්ටින්ගේ මුඛය හරහා ගෑරුප්පුව ඉවත් කිරීමට endoscope පරීක්ෂණයක් සිදුකර ඇත.
එමෙන්ම මෙම සැත්කම කරනු ලැබූ පශුවෛද්‍යවරයා සදහන් කර ඇත්තේ සුනඛයකු විසින් මෙසේ ලෝහ ද්‍රව්‍ය ගිල දමා ඇති බව තමන් දුටු ප්‍රථම වතාව මෙය වන බවයි. කෙසේ වුවත් අවසානයේ සුරතල් ඩස්ටින්ගේ ජීවිතය බේරාගැනීමට පශු වෛද්‍ය කාර්ය මණ්ඩලයට හැකියාව ලැබීමත් සමග ඩස්ටින්ගේ තුවාල සුව කරමින් අයිතිකරුවන් වෙත සුනඛයාව භාරදීමට ඔවුන් කටයුතු කර ඇත.

- රිෂ්මි ඉෂාරා -