දකුණු කොරියාවේ COVID-19 වෛරසය ආසාදනය වූ 100කට වැඩි පිරිසක් (පොකුරක්) පසුගිය පෙබරවාරි මැද භාගයේදී ව්‍යායාම් ශාලාවන්ට සම්බන්ධව සිටි පිරිසක් තුළ මතුවූ බව නවතම විමර්ශනයකින් හෙළි කරගෙන තිබේ. ඒ අනුව මෙම ආසාදිතයන් මාර්තු මස මුල් සතියේ හඳුනාගෙන ඇති අතර, ඔවුන්
සම්බන්ධයෙන් සිදුකළ
නවතම විමර්ශනයකට අනුව COVID-19 වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් ලබාදෙන බව දකුණු කොරියානු විමර්ශකයෝ පෙන්වාදෙති.

දකුණු කොරියාවේ චියෝනන් හි පවත්වා තිබූ මුල්ම ව්‍යායාම පන්තිවලට උපදේශකයන් 30දෙනෙකු සහභාගී වී ඇත. ඔවුන් පැය හතරක් දැඩි පුහුණුවක් ලබා ඇති අතර, ඒ වනවිට කිසිවෙකුට රෝග ලක්ෂණ නොතිබුණද, උපදේශකයන් 8 දෙනෙකු අවසානයේදී වෛරසය සඳහා ධනාත්මක බව සනාථ වී තිබේ.  ඉන් අනතුරුව මාසයකට අඩු කාලයේදී මෙම පන්තිවලට සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිතයන් 112ක් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් අඩක්ම උපදේශකයන්ගෙන් සෘජුවම වෛරසය සම්ප්‍රේෂණය වූ එම ව්‍යායාම පන්තිවලට සහභාගී වූ සිසුන්ය. සම්ප්‍රේෂණයට සම්බන්ධ පන්තිවල සිසුන් 5 සිට 22 දක්වා සිට ඇති අතර, ඔවුන් පැයකට ආසන්න කාලයක් කුඩා අවකාශයන්හි මෙම ව්‍යායාම් සිදුකර තිබුණි.

ආසාදිත උපදේශකවරුන්ට නිරාවරණය වූ සිසුන් 217 දෙනාගෙන් 57ක්, එනම් හතරෙන් එකක් පමණ ධනාත්මක බව හෙළිව තිබුණි. ඉන් අනතුරුව ඔවුන් හරහා පන්තිවලින් පිටත අයටද වෛරසය සම්ප්‍රේෂණය වී තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ චියෝනන් හි ඩන්කුක් විශ්වවිද්‍යාලයේ පිරිස වෛරසය ව්‍යායාම පන්ති ආශ්‍රිතව පැතිර යාමට හේතු සෙවීම ඇරඹීය. විශේෂයෙන්ම ක්‍රීඩා හා ව්‍යායාම් සිදුකරන ස්ථානවල දහඩිය. සමග ඇතිවන තෙතමනය සහිත ස්වභාවය, සංවෘත පරිසරය හා දැඩි ශාරීරික ක්‍රියාකාරකම් මගින් ජනනය වන කැලඹිලි සහිත වායු ගලනය මගින් වෛරසය අඩංගු ජල බිඳිති ඉතා පහසුවෙන් හා වේගයෙන් සම්ප්‍රේෂණය වන බව එහිදී ඔවුන් අනාවරණය කරගෙන තිබේ.

මෑතකදී දකුණු කොරියාවේ. රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ නව ආසාදිත පොකුරත් මෙවැනිම සංවෘත අවකාශයන්හි වෛරසය වේගයෙන් පැතිරීමේ ප්‍රතිඵලයකි. දකුණු කොරියාවේ මේ වනවිට අසාදිතයන් 11,065ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 263කි.