ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත් ප්‍රධාන පියවරක් ලෙස පසුගියදිනක එරට සම්පූර්ණයෙන් වසා දැමීමට ඇමරිකානු රජය විසින් තීරණය කර තිබුණි. කෙසේ වෙතත්
තමන්ගේ රට නැවත විවෘත කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතා 04ක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඇමෙරිකානු රජය විසින් පෙන්වා දෙන්නේ මෙම නව කොරෝනා වෛරස මාරයාගෙන් ආරක්ෂාවීමට නම් සමාජ දුරස්ථභාවය නිසි පරිදි පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී රට විවෘත කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණ ස්වයං නිරෝධායනය රෝහල්වල සූදානම සහ මුව ආවරණ යන කාරණා හතර කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව එරට බලධාරීන් විසින් පෙන්වා දී තිබේ.

එමෙන්ම මහජන සෞඛ්‍ය විශේෂඥයින් සහ බෝවන රෝග විශේෂඥයන් විසින් ද මෙම අවශ්‍යතා හතර පිළිබඳව නිසි අවධානය යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කර තිබේ. මේ වන විට ඇමරිකාව සතුවද ප්‍රමාණවත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය තරම් උපකරණ වල හිඟයක් දක්නට ලැබේ. එරට මරණ දිනෙන් දින ඉහළ යාමටත් මෙය ප්‍රබල හේතුවක් වී තිබෙන බව එරට බලධාරීන් පෙන්වා දෙයි. එබැවින් නැවත රට විවෘත කිරීමට පෙර මෙම වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය උපකරණ පිළිබඳව අවධානය යොමු කරමින් ඒවා සපයා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විශේෂඥයන් විසින් පෙන්වා දෙයි. ඒමෙන්ම ඒ හරහා රටේ මරණ සංඛ්‍යාව අවම මට්ටමකට ගෙන යා හැකි බව ඔවුන් වැඩිදුරටත් විශ්වාස කරයි.

ඇමරිකා එක්සත් ජනපදය මේවනවිටත් මෙම නව කොරෝනා වෛරසය මැඩ පැවැත්විය හැකි එන්නතක් පිළිබඳව පර්යේෂණ සිදු කරමින් පවතී. එමෙන්ම මෙම වෛරසය සඳහා ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳවද එතුලින් සුවය ලැබූ පුද්ගලයින් සහ මෙය බෝවන ආකාරය පිළිබඳවද ඔවුන් විවිධ පරීක්ෂණ සිදුකරමින් පවතී. කෙසේ වෙතත් රට නැවත විවෘත කිරීමට පෙර සලකා බලන මෙම කරුණු හතර තුළ මීලග කරුණ වන්නේ ස්වයං නිරෝධායනයට ලක් වීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. යම්කිසි ආසාදිත පුද්ගලයකුට රෝග ලක්ෂණ පහළ වන්නේ නම් ඔහු ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව එරට රජය විසින් තීරණය කර තිබේ. එබැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම මෙම වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දී අදාළ  රෝහල් වල අවශ්‍ය තරම් වෛද්‍ය පහසුකම් මෙන්ම රෝහල් පහසුකම් ද තිබිය යුතුයි. වෛරසය ධනාත්මක රෝගීන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා මෙසේ ප්‍රමාණවත් රෝහල් පහසුකම් තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් වේ. ලෝකයේ බොහෝ රටවල් වලට මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට නොහැකි වීමේ ප්‍රධාන ගැටලුවක් බවට මෙම රෝහල් පහසුකම් හිඟකම හේතු වී ඇති බව අමෙරිකානු විශේෂඥයින් විසින් පෙන්වාදී තිබේ. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් එරට විසින් යොමු කර තිබෙන බව පෙනෙන්නට ඇත.

ඇමරිකාව රට නැවත විවෘත කිරීමට පෙර අවධානය යොමු කරන ඊළඟ කරුණ වන්නේ මුහුණු ආවරණයි. මෙම වෛරසය කෙළ බිඳිති මගින් අනෙකාට බෝවන බැවින් වෛරස් ආසාදිත පුද්ගලයන් මෙම මුහුණු ආවරණ භාවිතා කිරීම අනිවාර්‍ය වේ. මේ වනවිට ලොව බොහෝ රටවල් තුළ මෙම මුහුණු ආවරණ පැළඳීම ක්‍රියාත්මක වන නමුත් මෙම මුහුණු ආවරණ වල හිඟයක්ද ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. කෙසේවෙතත් ඇමෙරිකානු රජය තම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ නිවසින් බැහැරව යන විට මෙම මුහුණ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය වන බවයි.

ඉහත සඳහන් කරන ලද කරුණු වලට අනුව තම රාජ්‍යයෙහි කටයුතු සිදුකෙරෙන්නේනම් මෙම කොරෝනා වෛරසයෙන් යම්තාක් දුරට ආරක්ෂා වීමටත් මෙය ඉතා ඉක්මණින් තුරන් කිරීමටත් ඔවුන්ට හැකි වනු ඇතැයි ඇමරිකානු රජය විශ්වාස කරයි.

- රිෂ්මි ඉෂාරා -