රටේ අනික් ජනතාවට නිවෙස් වල රැඳී සිටින ලෙස රජය මගින් උපදෙස් දුන්නද වතුකරයේ ජනතාව පමණක් තම දරුවන් වත්තේ ළමා නිවාසවල හෝ නිවස තුලම නවතා  දෛනික සේවා කටයුතු සඳහා වාර්තා කරන ලෙස දන්වා ඇති බව පවසමින් වතුකරයේ  සිටින ජනතාවටව  ආරක්ෂාව සපයන ලෙසත්, එම ජනතාවට 
රජයෙන් සහනාධාර
ලබා දියයුතු බවත් පවසමින් නව පුබුදමු තරණ සංවිධානයේ සාමාජිතයින් පිරිසක් විසින් අද (01) දහවල් හැටන් , වනරාජා හින්දු කෝවිල ඉදිරිපිටදී  උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂණයට එක්ව සිටි නව පුබුදමු තරුණ සංවිධානයයේ සභාපති ගනේෂන් උදයකුමාර් මහතා  මෙහිදී කියා සිටියේ, කඳුකරයේ ජීවත්වන ජනතාව මේ වන විට අනාරක්ෂිතව සිටින නිසා එම ජනතාවට ආරක්ෂාව සැලසිය යුතු බවය.
 එම ජනතාවට මේ දක්වා රජය මගින් ලබා දෙන කිසිදු සහනාධාරයක් දී නොමැති බවත් ඔහු කියා සිටී. තවද වතුකරයේ සිට කොළඹ ප්‍රදේශයට ගොස් රැකියා කරන පිරිසට ඖෂධ හා  ආහාර ලබා දීමේ වැඩසටහනක් නොමැති නිසා  එම පිරිස ඇතුලු වතුකරයේ පීඩාවට පත් ජනතාවට වහා සහනයක් ලබා දිය යුතු බවට රජයෙන් ඉල්ලා සිටින බවත් ගනේෂන් උදයකුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

(සටහන හා ඡායාරූප මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)