පසුගිය දිනක සිරිල් රමපෝසා ජනාධිපතිවරයා විසින් තම රටේ කුඩා ඇඟලුම් කර්මාන්තකරුවන් දිරිගන්වමින් මුහුණු ආවරණ පිළිබඳව තම ජනතාව දැනුවත් කරමින් සිටින අවස්ථාවකදී මාධ්‍ය හමුව අතරතුර ඔහුට මුහුණ දීමට සිදු වූ හාස්‍යජනක සිදුවීමක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. සමාජ මාධ්‍ය
මෙන්ම බොහෝ රටවල් වල ප්‍රධාන මාධ්‍ය ධාරාව හරහා ද මොහුගේ මෙම සිදුවීම හුවා දක්වන ලදී.

මේ වන විටත් දකුණු අප්‍රිකාව නව කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින මොහොතක ඔහු මුහුණ දුන් මෙම සිද්ධිය ජනතාවගේ මනසට යම් සැහැල්ලු මනෝභාවයන් ඇති කරමින් හාස්‍ය රසයක් ද එක් කරණු ලැබීය.

දකුණු අප්‍රිකානු රාජ්‍ය එළඹෙන මැයි පළවෙනිදා සිට ඔවුන්ගේ අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කරන බවට යම් යම් ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබුණද බ්‍රහස්පතින්දා දින පැවති මෙම මාධ්‍ය හමුවේ දී සිරිල් රමපෝසා මහතා මෙම ලිහිල් කිරීමේ සීමාවන් පිළිබඳව නිල දැනුවත් කිරීම සිදුකරනු ලැබූ අවස්ථාවේ මෙම සිදුවීම සිදු වී ඇත. එරට ජනතාව ඉදිරියටත් මුඛ ආවරණ පැළඳිය යුතු බව සිරිල් රමපෝසා මහතාගේ අදහස වූ අතර ඔහු  ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ දැනුවත් කිරීමේදී  ජනාධිපතිවරයා මෙසේ මුහුණු ආවරණයක් පැලඳීමට උත්සාහ කොට තිබේ. එහිදී ඔහුට මෙම මුහුණු ආවරණය නිසියාකාරව  පැළඳ ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්වන අයුරු දක්නට ලැබුණි.

එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මුඛය සහ නාසය වසා ගැනීමට භාවිතා කරන මෙම මුහුණු ආවරණය දෑස් මත පැළඳ ගැනීම සියලු දෙනාගේ හාස්‍යයට තුඩුදුන් කරුණක් විය. කෙසේවෙතත් කිහිප වරක්ම උත්සාහ කිරීමෙන් පසු ඔහු අවසානයේ එය නිසියාකාරව පැළඳ ගැනීමට සමත්ව තිබේ.

සිරිල් රමපෝසාගේ මෙම සිදුවීම හාස්‍ය ජනක සිදුවීමක් ලෙස ලොව පුරා බෙදා හදා ගැනුනද ඔහුගේ උත්සාහය වූයේ තම ජනතාවට මුහුණු ආවරණ පැළඳීමේ අත්‍යවශ්‍යතාවය පැහැදිලි කිරීමයි. කෙසේ වෙතත් මේ වන විට දකුණු අප්‍රිකාව තුළ තුන් දහසකට අධික නව කොරෝනා රෝගීන් හමුවී තිබේ. මෙවන් අවස්ථාවක තමන් විසින් මෙසේ රටේ අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කළ ද මුහුණ ආවරණ භාවිතා කිරීම අත්‍යවශ්‍ය වන බව ප්‍රකාශ කිරීමට ඔහු ගත් මෙම උත්සාහය උපහාසයට ලක් නොකළ යුතු බව බොහෝ දෙනා පවසා තිබේ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනතාව තම ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව හාස්‍ය රසය උපදවන ක්‍රියාවක් බව තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර තිබුණි. එනමුත් මෙය කිසිසේත් හාස්‍යයට ලක් නොවිය යුතු කාරණයක් යැයි බොහෝ විද්වතුන් පවසා තිබේ. එයට හේතුව රමපෝසා මහතා මෙය හුදෙක් ජනතාවගේ විනෝදය සඳහා නොව ජනතාව දැනුවත් කිරීම සදහා සිදුකරන ලද්දක් වීමයි.

එළඹෙන මැයි පළවෙනිදා සිට තම රටේ අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමට තම රජය තීරණය කොට ඇති බවත් මෙසේ සීමාවන් ලිහිල් වීමෙන් පසුව ජනතාව තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු පවත්වා ගැනීමේදී මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේ දී පෙන්වාදී තිබේ. එබැවින් ඔහුට එම මාධ්‍ය හමුවේ දී සිදුවූ මෙම අත්වැරදීම කිසියම් හාස්‍ය රසයක් උපදවනු ලැබූවද එය සෘජු දෙශපාලයකට සම්බන්ධ කර නොගන්නැයි බොහෝ විද්වතුන් ඉල්ලා තිබේ. එමෙන්ම දකුණු අප්‍රිකානු රජය තවදුරටත් තම රට වැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි කාල වකවානුව තුල එදිනෙදා ජීවන කටයුතුවල යෙදීමේ දී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පලඳින ලෙසයි.

- රිෂ්මි ඉෂාරා -