සමාජය තුළ කොවිඩ් 19 පැතිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබුණ බවත් ඒ අනුව රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.


අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

“සමාජය තුළ මේ රෝගය පැතිරීම වළක්වාගැනීමට හැකියාව ලැබුණා. අද වන විට මාසයකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය දමලා රට එක තැන තියාගෙන ඉන්නවා.

රටේ ආර්ථිකයට විශාල වශයෙන් ප්‍රශ්නගත තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. හැමදාම ඇඳිරි නීතිය දාලා රට වහගෙන ඉන්න සිද්ධ වෙනවා කියා මම විශ්වාස කරන්නේ නෑ.

අපට සිද්ධ වෙනවා සමාජය තුළ මේ රෝගය බෝ වීම නැති තරමටම තිබෙන නිසා රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම ගැන සිතා බැලීමට දැන් කාලය ඇවිල්ලා කියාල මම සිතනවා.

රටේ ආර්ථිකය ආරක්ෂා කර ගත යුතුවනවා. දළ දේශීය නිශ්පාදිතය වැඩිකර ගත යුතුවෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ රට වහලා ඇඳිරි නීතිය දාලා තිබෙන තත්ත්වයෙන් මුදවා ගත යුතුයි කියලා”