නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බොහෝ රටවල්වල අවධානය යොමුව තිබේ. මේ හේතුවෙන් සෑම රටක්ම තමන්ගේ ආගමික සිද්ධස්ථානවලට ජනතාව රැස් වීම නවතා දමා ඇත. පාකිස්තානයේ වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ද මුස්ලිම් පල්ලි තහනම නැවත ක්‍රියාත්මක කරන ලෙසයි.



පාකිස්ථානයේ ද මෙසේ තම රට වැසියන් එක්රැස් වීම වැළැක්වීම උදෙසා මුස්ලිම් පල්ලි තුළට පැමිණීම තහනම් කරනු ලැබූවද ශුද්ධ වූ රාමසාන් මාසය හේතුවෙන් ඔවුන්ගේ යාඥා වලට සහභාගි වීමට ජනතාවට අවසර ලබාදීමට එරට රජය විසින් කටයුතු කර තිබේ.  නමුත් ප්‍රමුඛපෙලේ වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම අවසර දීමේ තීරණය අවලංගු කරන ලෙසයි. එමෙන්ම වෛද්‍යවරුන් තම පූජකවරුන්ගෙන් ද මෙම තීරණයට එකඟ නොවන්නැයි ඉල්ලා තිබේ.

පාකිස්තානයේ සිදුකරනු ලැබූ පූජාවකට සහභාගි වූ වන්දනාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම් කිහිපයකින් පසුව පකිස්ථාන රජය මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වෙයි. නමුත් පාලකයන්ගේ වැරදි තීරණ හේතුවෙන් රට බොහෝ සේ අස්ථාවර වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඔවුන් මෙම කරුණු පැහැදිලි කර තිබෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමිනි.

කෙසේ නමුත් ඉන්දුනීසියාවෙන් පසුව ලෝකයේ දෙවන වැඩිම මුස්ලිම් ප්‍රජාවක් වාසය කරන්නේ පාකිස්තානයේය. කොරෝනා වෛරසය හේතුවෙන් එරට මරණ 212ක් ද රෝගීන් 10 000කට අධික සංඛ්‍යාවක් ද වාර්තා වී ඇති මෙවැනි පසුබිමක රජයේ මෙම තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව එරට වෛද්‍යවරුන් පවසයි. එමෙන්ම ඉදිරි මැයි මාසය දක්වා මෙම තහනම ඉවත් නොකරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.

පසුගිය සති කිහිපයේදී පාකිස්ථානය අගුළු දමා තිබුණද මුස්ලිම් පල්ලි ඇතුළු සමහර ක්‍රියාකාරකම් සඳහා එම නීතිය ලිහිල් කර තිබේ. නමුත් රජය හා මුස්ලිම් පල්ලි අතර සම්මත වී ඇති මෙම ක්‍රියාපටිපාටිය ප්‍රායෝගික නොවන බව ද වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ පාකිස්ථානයේ විශාලතම නගරයක් වන කරච්චි නගරයේද මෙම වෛරසය මේ වනවිට උපරිම මට්ටමකට පැමිණ ඇති බවයි. එබැවින් මෙම දිනවල තමන් ගනු ලබන මෙම වැරදි තීරණ හේතුවෙන් විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් එය ඉතා දරුණු ව්‍යසනයකට මුල පිරිය හැකි බවත් වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද මේ වනවිට කොවිඩ් 19 පරීක්ෂණයට සහභාගී වී ඇති අතර එහි ප්‍රතිඵලය තවමත් නිකුත් කර නොමැත. කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ පාකිස්ථාන රජය මෙම මුස්ලිම් පල්ලි ජනතාවට විවෘත කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු බව එරට වෛද්‍යවරුන් තරයේ පවසා ඇත.

- රිෂ්මි ඉෂාරා -