ඉන්දියාවේ බැංගලූර් ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පුවතක් සංසරණය වන්නේ ව්‍යවසනකාරී අවස්ථාවක පවා තමන්ගේ පටු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ක්‍රියා කරන මිනිසුන්ගේ පහත් ක්‍රියාවක් උත්දීපනය කරමිනි. ඉන්දියාව අගුළු දමා ඇති රාජ්‍යයක් බව සියලු දෙනා දන්නා කරුණකි.
නමුත් මෙම අගුලු දැමීමේ කාලසීමාව තුළදී අන්තර්ජාලය හරහා සිගරට් විකිණීම සම්බන්ධ සිදුවීමක් එරටින් වාර්තා වී තිබේ.

කෙසේවෙතත් අන්තර්ජාලය හරහා මෙසේ සිගරට් විකිණීම සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට ඉන්දීය පොලිසිය රඳවා තබා ගෙන ඇති බවත් ඔවුන් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඉන්දීය පොලීසිය පවසා තිබේ. එමෙන්ම මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බැන්ගලූර් නගර අපරාධ අංශය විසින් යැයි තොරතුරු හෙළිවී ඇත.

අන්තර්ජාලය හරහා මෙසේ සිගරට් අලෙවි කළ මෙම පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් තිස්දාහක් වටිනා සිගරට් තොගයක් ද අපරාධ අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා ඉතා සූක්ෂම ලෙස අන්තර්ජාලය හරහා මෙම සිගරට් විකිණීමට කටයුතු කර ඇති අතර බොහෝ දෙනෙක් මොවුන්ගෙන් මෙසේ සිගරට් මිලදී ගැනීමට ද පෙලඹේ සිටි තිබේ.

මෙම සැකකරුවන් සිගරට් අලෙවිය සිදු කර තිබෙන්නේ ජංගම දුරකථන අංකයක් ලියා පදිංචි කරමිනි. එමෙන්ම ඔවුන් මෙම අලෙවි ජාවාරම moonlight delivery නමින් සිදුකර තිබේ. ලෝක වසංගතයක් හේතුවෙන් ඉන්දියාවද අගුළු දමා ඇති මෙවන් අවස්ථාවක මෙසේ අනවශ්‍ය ව්‍යාපාරයන්හි යෙදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව බොහෝ දෙනාගේ අදහසයි. ඉන්දියානු ආරංචි මාර්ග වලට අනුව මෙසේ අන්තර්ජාලය හරහා සිගරට් අලෙවි කළ චූදිතයන් දෙදෙනා නමින් අක්තාර් මිර්සා සහ තබුදින් මොහිදීන් යන පුද්ගලයන් වේ.

මෙම  චූදිතයන් දෙදෙනා සතුව විවිධ වෙළඳනාම 450ක් තිබී ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත. එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ද සිදුකර තිබෙන බව එරට වාර්තා පවසයි. කෙසේ වෙතත් ඉන්දීය රජය තීරණය කර ඇත්තේ එළඹෙන මැයි තුන් වන දා දක්වා තමන්ගේ රට තුළ අගුලු දැමීම දීර්ඝ කිරීමටයි. එබැවින් අගුළු දමා ඇති මෙවන් කාල සීමාවක් තුළ මෙවැනි අනවශ්‍ය ව්‍යාපාර සිදුකරමින් නීතිවලට පටහැනිව ක්‍රියා කිරීම දඬුවමට ලක්විය හැකි වරදක් බව ද එරට බලධාරීන් පෙන්වා දෙයි.

- රිෂ්මි ඉෂාරා -