සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව පෙර වසරට (2018) සාපේක්ෂව මෙවර ඉංග්‍රීසි විෂය සමත් වීමේ ප්‍රතිශතය සියයට 7.46කින් ඉහළ ගොස් ඇති අතර විද්‍යාව විෂය සමත් වීමේ ප්‍රතිශතය සියයට 4.38කින් පහළ ගොස් තිබේ.


මෙවර ඉංග්‍රීසි විෂයය සමත් වීමේ ප්‍රතිශතය සියයට 62.36ක් ද විද්‍යාව විෂය සමත් වීමේ ප්‍රතිශතය සියයට 65.45ක් ද වන අතර ඊට පෙර වසරේ ඉංග්‍රීසි විෂය සමත් වීමේ ප්‍රතිශතය සියයට 54.90ක් හා විද්‍යාව විෂය සමත් වීමේ ප්‍රතිශතය 69.83ක් විය.

අයැදුම්කරුවන්ගෙන් එක්ලක්ෂ දාහතර දහස් අටසිය පනස් එක් දෙනෙක් ඉංග්‍රීසි විෂය අසමත්ව සිටිති. විද්‍යාව විෂය අසමත් සංඛ්‍යාව එක් ලක්ෂ පන්දහස් තුන්සිය හැට හතකි.

ගණිතය විෂය සමත් වීමේ ප්‍රතිශතය ද පෙර වසරට සාපේක්ෂව මෙවර සියයට 2.78කින් ඉහළ ගොස් ඇති අතර එම විෂය අසමත් සංඛ්‍යාව අසූ අටදහස් එකසිය අසූ තුනක් බව විභාග දෙපාර්තමේන්තුවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

නිලන්ත මදුරාවල