[Trending][btop]
[News][stack]

උතුරු කොරියාවේ කොරෝනා වැළඳුණ කවුරුවත් නැද්ද? හැදුණ අය කිම් මැරුවාද?

මේ වනවිට ලෝකයේ රටවල් 207 කට වැඩි ප්‍රමාණයක කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවී තිබෙන පසුබිමක චීන බෝඩරයේ පිහිටි රටක් වන උතුරු කොරියාවේ කිසිදු කොරෝනා රෝගියෙකු නිල වශයෙන් වාර්තා නොවීම පුදුමයට හේතුවන කරුණක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය තුළ විවාද හටගෙන තිබේ. උතුරු කොරියානු රජය පවසා ඇත්තේ තමන් චීනයේ රෝගය පැතිරෙන වකවානුවේදීම සීමාමායිම් වසා දමා විදෙස් සංක්‍රමණිකයින් සියල්ල නිරෝධායනයට යොමු කර නිසි පියවර ගත් නිසා
මෙම රෝගයෙන් මිදුණ බවයි.

කිම් ජොන් උන් කොරෝනා හැදුණ අය මැරුවාද?

කොමියුනිස්ට් පාලනයක් පවතින උතුරු කොරියාව සිය මාධ්‍ය වෙත පනවා ඇති දැඩි සීමාකම් නිසා නිවැරදි තොරතුරු පිටතට ගමන් කිරීම අවහිර කර ඇති හෙයින් මෙහි ඇත්ත සඟවා ඇතැයි කියැවේ. මේ අතර නිල නොවන වාර්තා මගින් කියැවුනේ එරට කොරෝනා ආසාදිතයින් රැසක් හමුව ඇති නමුත් පැතිරීම මර්දනය කිරීමට ආසාදිතයින් මරාදමා ඇති කතාවකි. නමුත් ඒ ආරංචිය තහවුරු නොවූවකි.
2020 පෙබරවාරියේදී, සමාජ මාධ්‍යවල පැතිර ගිය මෙකී කටකතාවෙන් කියැවුනේ උතුරු කොරියාවේ උත්තරීතර නායක කිම් ජොන් උන් විසින් රටේ පළමු COVID-19 රෝගියාට වෙඩි තබා මරා දමන ලෙස නියෝග කළ බවයි. මෙම කටකතාව සත්‍යාපනය කිරීමට කිසිදු තර්කයක් ඒසමග පළවූයේ නැත.

ඒ පිළිබඳ සොයා බැලීමේදීද වැඩිදුර තොරතුරු හිඟය. රටේ පළමු කොරෝනා රෝගියා මරණයට පත් කිරීමට නායක කිම් නියෝග කළ බවට වූ ප්‍රකාශය දකුණු කොරියානු පුවත්පතක් වන 'ඩොන්ගා' හි වාර්තාවකින් මුල්වරට පිට විය. උතුරු කොරියාවේ ආරංචි මාර්ග උපුටා දක්වන බව පවසමින් පෙබරවාරි 13 වන දින ඩොන්ගා වාර්තා කළේ, උතුරු කොරියාවේ නිරෝධායනයට යොමු කරන ලද නිලධාරියෙකු නාන කාමරයක් තුළදී ඝාතනය කර ඇති බවයි. මහජනතාවගේ සෞඛ්‍යය අවදානමට ලක්කළ නිසා මෙය හිතාමතා කළ දෙයක් ලෙසද වාර්තා කර තිබුණි. ස්ථානයේ නම හෝ නිලධාරියාගේ නම වැනි නිශ්චිත තොරතුරු මෙම වාර්තාව තුළ සපයා නැත. පසුව මෙම වාර්තාව මත පදනම්ව කොරෝනා රෝගීන් දුටු තැන මරාදැමීමට කිම් ජොන්-උන් ක්‍රියාකරන බවත් ඒ නිසා රෝගීන් නැති බවත් හැඟවෙන පුවත් මවමින් සමාජ මාධ්‍ය තුළ රැල්ලක් ඇති විය. ඔහුගේ පූර්ව ක්‍රියාකලාපයන් මත පදනම්ව මෙම කාරණාව සත්‍යයක් විය හැකි යයි ඇතැමුන් උපකල්පණය කර තිබුණි. කෙසේ වෙතත් එම පුවත උතුරු කොරියාවේ විකල්ප පත්තරයක හෝ පළ නොවූ අසත්‍ය කතාවකි

උතුරු කොරියානු සෙබළු 200 ක් කොරෝනාවෙන් මියගිය ආරංචිය

පසුගිය මාර්තු 09 වනදා කොරියාවේ විකල්ප ප්‍රවෘත්ති සේවාවක් වන dailynk.com වාර්තා කර තිබුනේ කොරෝනා ආසාදිත සෙබළුන් 3700 ක් හමුවී ඇති බව සහ කොරෝනා සෙබළ මරණ 200 ක් වාර්තාවී ඇති බව හමුදාවේ රහස්‍ය ලේඛනයක් හරහා තහවුරු කරගත් බවයි. සෙබළුන්ට වැළදුන රෝගය කොරෝනා ලෙස නම් කර නොතිබූ බවත් අධික උණ හා කැස්ස රෝග ලක්ෂණ ගැන පමණක් දක්වා තිබූ බවත් එහි වැඩිදුර විස්තර විය. නමුත් උතුරු කොරියාව මෙම පුවත ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
මේ අතර එම වෙබ් අඩවිය ඊයේ (13) පළ කර තිබෙන වාර්තාවකින් දක්වා සිටින්නේ කොරෝනා රෝගයට සමාන ලක්ෂණ හේතුවෙන් හමුදා වෛද්‍යවරුන් තිදෙනෙකු සහ එක් සිවිල් වෛද්‍යවරයෙක් උතුරු කොරියානු හමුදා රෝහලකදී මිය ගිය බවයි.
අප්‍රේල් 5 වන දින නැම්පෝ නගරයේ අංක 32 හමුදා රෝහලේදී මෙම මරණ හතර සිදුවී ඇති බව එහි සදහන්වේ.
මෙම මරණයෙන් පසු, එම රෝහල් වාට්ටුවේ සිටි සෙබළුන් නිරෝධායනය නිරෝධායනය කර ඇති බවද වාර්තා කර තිබේ.

මෙම තොරතුරු උතුරු කොරියාව සඟවන්නේ නම් ඒ කවර කරුණක් නිසාද යන්න ප්‍රහේළිකාවකි. නමුත් කිම් ජොන් උන් හැමවිට ලෝකයෙන් වෙන්ව නැගී සිටින ජාතියක් ලෙස උතුරු කොරියාව හඳුන්වා ගනී. රට ගැන අභිමානය සැමටම වඩා ඉහළ බව සිය කතාවලදී කියයි.

දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති උතුරු කොරියාව සුරක්ෂිත වන්නේ කෙසේද?

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව උතුරු කොරියාව දුර්වල සෞඛ්‍ය සේවා පද්ධතියක් සහිත දිළිඳු රටකි. එසේ හෙයින් කොරෝනා පැතිර යාමකදී අවදානමට ලක්විය හැකිය.
උතුරු කොරියාව 2014 එබෝලා වසංගතය අතරතුර විදෙස් වසංගත හමුවේ විදේශ ගමන් සීමා කර සර්ථකත්වය ලබා ඇත. අන් රටවලට සාපේක්ෂව උතුරු කොරියාවේ අතිශයින්ම ඒකාධිපති සමාජ පාලනය යටතේ වෛද්‍ය උපදේශ අනුගමනය කරවන්නටත් සමාජ දුරස්ථභාවය වැනි රෝග පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටත් පහසුය.
චීනයේ කොරෝනා ආරම්භය සම්ග උතුරු කොරියාව ගත් පියවර නිසා එරටේ රෝගය පැතිර යාමෙන් මිදුණ බව ඔවුන් විසින්  දිගින් දිගටම කරුණු දක්වා ඇත. එහි සත්‍යතාවයක් පවතී.

මුලදීම කිම් ජොන් උන්ග් වැඩ පටන්ගත් හැටි

COVID-19 හේතුවෙන් දේශසීමා වසා දැමූ පළමු රටවල් අතරින් උතුරු කොරියාව ද විය. ජනවාරි මස අගදී විදේශීය සංචාරකයින් සඳහා දේශ සීමාව වසා දැමුණ අතර පසුව ගුවන් ගමන් අත්හිටුවීම සහ රට තුළ සහ ඉන් පිටත ගමන් තහනම් කිරීම ඇතුළුව රජය පුළුල් සංචාරක සීමා කිරීම් ක්‍රියාත්මක කර ඇත. මුලදී දේශ සීමාවේ කොටසක් වසා දමා පසුව පෙබරවාරි අග දී උතුරු කොරියානු රජය කියා සිටියේ ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් දේශ සීමාව මුළුමනින් වසා තබන බවයි.
පෙබරවාරි මස මුලදී, උතුරු කොරියානු රජය නැම්පෝ වරායේ විෂබීජ නාශක ක්‍රියාකාරකම් සිදු කළ අතර ආනයනික භාණ්ඩ නිරෝධායනය තුළ තැබීමට පියවර ගෙන තිබුණි. සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සහ දුම්රිය සේවා පෙබරවාරි මස මුලදී අත්හිටුවන ලද අතර, ඉදිරි සති කිහිපය තුළ මුහුදු හා මාර්ග සම්බන්ධතා බොහෝ දුරට වසා දමන ලදී.

පෙබරවාරි මාසයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වූ අතර අවන්හල් වැනි පොදු ස්ථානවලට යාම තහනම් විය. හමුදා පෙළපාළි, මැරතන් සහ වෙනත් පොදු උත්සව අවලංගු කරන ලදි. රට පුරා පාසල් වසා දමන ලදී; රටේ වෙනත් තැන්වල සිට අධ්‍යාපනයට ආ ප්යොංයැං හි විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ නේවාසිකාගාරවල සිර විය.
වෙනත් රටවලින් ආපසු පැමිණෙන උතුරු කොරියානු පුරවැසියන්ට දින 40 ක හුදකලා කාලයකට යටත් කරන ලද අතර එයට දින 30 ක “වෛද්‍ය නිරීක්ෂණ” කාල සීමාවක් එකතු කරන ලදී.
උතුරු කොරියානු රජයට අනුව, මේ වනවිට 24,842 ක් නිරෝධායනය කර ඇත. පෙබරවාරි 12 සිට සියලුම තානාපති කාර්යාලවල විදේශිකයින්ට (ඔවුන්ගේ දේශීය කාර්ය මණ්ඩලය ඇතුළුව) දින 30 දක්වා දීර්ඝ නිරෝධායනයක් පනවා තිබුණි.
පාලක කම්කරු පක්ෂයේ පුවත්පත වන රොඩොං සින්මන් නිල වශයෙන් උතුරු කොරියාව තුළ කිසිම රෝගියෙකු නොමැති බවට දිගින් දිගටම පවසා තිබේ.

කොරෝනා නැති ගාණට මිසයිල් අත්හදා බලන කිම්

උතුරු කොරියානු හමුදාව 2020 මාර්තු මස මුලදී අවස්ථා දෙකකදී මිසයිල පහක් අත්හදාබැලීමද සිදු කර තිබුණි. එය “වෛරසය පැතිරීම මධ්‍යයේ එය සඟවමින් වෙනත් වැඩ අරමුණු කරගත් උත්සාහයක් ” ලෙස ජාත්‍යන්තර මාධ්‍ය තුළ කථාබහට ලක්විය.
මේ අතරවාරයේ මාර්තු 18 වන දින උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් නව රෝහලක් ඉදිකිරීමට නියෝග කළේය.
එම රෝහල තැනීමේ අරමුණු ගැන පැහැදිලි නැති මුත් පසුගිය කාලයේ උතුරු කොරියානු මාධ්‍ය දිගින් දිගටම වාර්තා පළ කර ඇත්තේ මෙම ඉදිකරමින් පවතින රෝහල ගැනත් මිසයිල අත්හදාබැලීම් ගැනත් පමණි. වෛරස ආසාදිතයින් ගැන කිසිවක් නැත.

ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයාගේ තහවුරු කිරීම

 උතුරු කොරියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය එඩ්වින් සැල්වදෝර් වාර්තා කළේ අප්‍රේල් 2 වන විට පුද්ගලයින් 709 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති නමුත්, කිසිදු තහවුරු කළ සිද්ධියක් නොමැති බවයි. ඔහු පුද්ගලයින් 509 දෙනෙකු නිරෝධායනයේ සිටින බව කියා ඇත.
උතුරු කොරියාව චීනයේ දේශ සීමාවට යාබදව සිටියද එම මායිමේ පිහිටි චීන පළාත්වල කොරෝනා අවම මට්ටමක පැවති බවත් ඒ නිසා උතුරු කොරියාවට එහි සිට රෝගය පැතිරීම අවම බවත් දන්වා ඇත.
 රජය තහවුරු කළ සිද්ධීන් නොමැති වුවද වෛද්‍ය ආධාර සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර රතු කුරුස සංගමය පියවර ගනිමින් සිටී.
උතුරු කොරියානු රජයේ නිල නිවේදන අනුව අප්‍රේල් 17 පාසල් නැවත අරඹන බව දන්වා ඇති අතර සති දෙකක් ඇතුළත  සියලුම නිරෝධායන කටයුතුද අවසන් වනු ඇති බව දන්වා ඇත.