යේ මස්කෙළිය, ගාඩ්මෝර් පෞද්ගලික තේ වතුයායේ එළවළු කොරටුවක  මද්දකට හසුවී බරපතල ලෙස තුවාල ලබා සිටි  කොටි ධේනුවක නිර්වින්දනය කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගිය අතර එසේ යමින් සිටියදී ඊයේ සවස 6 ට පමණ ඌ මිය ගොස් ඇති බව
වාර්තාවේ.
නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ, වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළ ආකාරයට වයස අවුරුදු 04 ක් පමණ වන “පැන්තරා පාදුස්” කුලයට අයත් මෙම කොටි ධේනුව දිගින් අඩි 05 ක් පමණ වේ. මෙම උගේ ඉණ ප්‍රදේශය මද්දෙන් දැඩි ලෙස තදවී දරුණු ලෙස තුවාල වී තිබීම නිසා වකුගඩු වලට බරපතල ලෙස හානි සිදුවීමෙන් මරණයට පත්වන්නට ඇති බව කරුණාතිලක මහතා පැවසීය.

ගාඩ්මෝර් තේ වතුයායේ, ශ්‍රීපාද රක්ෂිතය මායිමේ පිහිටි, දඹේතැන්න

කොටසේ වතු කම්කරුවෙකුගේ එළවළු කොරටුවක අටවා තිබූ කම්බි උගුලකට මෙම කොටි ධේනුව හසුව ඇත්තේ ඊයේ අළුයම් කාලයේය. වතු කම්කරුවන් ඌට බිය වී පහරදීමට හැසිරෙමින්  සිටියදී ඌ අසල පිහිටි සබුක්කු ගසක අඩි 20 ක් පමණ උස දෙබලකට නැග ඇත. කම්බි මද්ද සවිකර තිබූ අඩි 06 ක් පමණ දිග ලීයද සමග කොටි ධේනුව ගසට නැග ඇති අතර එම ලීය ගසේ දෙබලක සිරවීම නිසා ඌට නැවත ගසෙන් බැසීමට නොහැකිව පැය 08 කට ආසන්න කාලයක් ගස උඩ සිරවී සිටීමට සිදුවීමෙන්  උගේ ඉණ ප්‍රදේශය කම්බියට කැපී දරුණු ලෙස තුවාල වී තිබුණි.

වනජීවි දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත් පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (18) පැය 03 ක පමණ ඉතා අසීරු මෙහෙයුමකින් පසුව මෙම කොටි ධේනුව නිර්වින්දනය කර ගසෙන් පහළට ගනු ලැබුවේ ප.ව. 02.30 ට පමණය.

කොටියාට වහා සේලයින් ලබා දෙමින් වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වාහනයක විශේෂ යකඩ කූඩුවක බහා පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතාගේ අධීක්ෂණය යටතේ මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත ගෙන යන අතර මගදී  ඊයේ (18) ප.ව. 06.00 ට පමණ කොටියා ජීවිතක්ෂයට පත්වී ඇත.

මධ්‍යම කඳුකරයේ තේ වතු ආශිතව දිවි ගෙවන  මෙම පැන්තරා පාදුස් වර්ගයට අයත් කොටින් විශාල ප්‍රමාණයක් පසුගිය වසර කීපයේ ඉතා අවාසනාවන්ත ලෙස වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන උගුල් වලට හසුවීමෙන් මියගොස් තිබූ සිදුවීම් වාර්තාවිය.
(සටහන හා ඡායාරුප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)