ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින්
සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. ඊයේ (06) දින පස්වරුවේ මෙලෙස සැක සිතෙන ලෙස මිය ගිය ඇගේ මළ සිරුර මෘත ශරීරාගාරය වෙතටම ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ළං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා පැවසීය.

75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින දහයකට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙළි තිබෙන බව කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරි වරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගේ මැදිහත්වීමෙන් දඹුල්ල රෝහලට රැගෙනවිත් තිබේ.

අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතරමගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලීසියට පැවසූහ. නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පැවසුහ .  මළසිරුරේ රුධිර කොටස් පරීක්ෂණයට යොමු කර ඇත.
 මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ සිදුවේ.
කාන්තාව සිටි නිවස සහ නිවසේ සිටින පුද්ගලයන් පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.