අන්තර්ජාතික වාර්තා වලට අනුව මේ අවස්ථාව වන විට ලෝකයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළිනි. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්ෂ පනස්දාහ ඉක්මවා ඇති බව වාර්තා වී තිබේ.



ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වලට අනුව මෙසේ එම රට තුළ රෝගීන් සංඛ්‍යාව අට ලක්ෂ පනස්දාහ ඉක්මවා ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 47,272 ක් බවද ඔවුන් පෙන්වාදෙයි. 8,56,209 ක් වැනි විශාල රෝගීන් සංඛ්‍යාවක් එරටින් වාර්තා වී ඇති මෙවන් වාතාවරණයක් තුළ ඉදිරියේදීද මෙහි බලපෑමට බොහෝ දෙනා ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව සහ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව අනුව එක්සත් ජනපදය මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටින රට බවට පත්වී ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව පෙනෙන්නට තිබුනත් දිනෙන්දින  එරට තුළින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් දක්නට නොලැබෙන බව සියලුම දෙනාට පෙනෙන්නට ඇති කරුණකි. කෙසේ නමුත් මේ වනවිට එරට ජනතාව දැඩි බියකින් තමන්ගේ ජීවන කටයුතුවල නිරත වන බව දක්නට ලැබෙන අතර ඇමෙරිකාව සතුව මේ වන විට අවශ්‍ය තරම් සෞඛ්‍ය සේවා පහසුකම් ද නොමැති බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් අනාගතයේදී විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පැහැදිලිය. එබැවින් ලොව සියලු දෙනාම මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු පියවරයන් ඉතා ආරක්ෂාකාරීව අනුගමනය කළ යුතු බව අප තේරුම්ගත යුතුය.

- රිෂ්මි ඉෂාරා -