කොරෝනා වෛරසයත් සමග සමස්ත ලෝකයම විශාල ආර්ථික පසුබෑමකට ලක්ව තිබේ. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද මෙය දැඩි සේ බලපා තිබෙනු අපට දක්නට ඇත. මෙවන් වාතාවරණයක් තුළ සත්ත්ව උද්‍යාන වල ජීවත්වන සත්වයින්ට ආහාර ලබාදීමේ මහත් ගැටලුවක් ලොවපුරා සත්ත්ව උද්‍යාන
තුළ උද්ගත වී තිබේ. එංගලන්තයේ ඩාට්මූර් සත්ව උද්‍යානය ද මේ අවස්ථාව වනවිට එවැනි විශාල අපහසුතාවයකට පත්ව ඇති බව දැනගන්නට ලැබුණි. නිරිතදිග එංගලන්තයේ ඩෙවොන් ප්‍රදේශයේ පිහිටි මෙම ඩාර්ට්මූර් සත්ත්ව උද්‍යානය පවසා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සතුන් පණපිටින් තබා ගැනීම සඳහා තමන් සතුව ඇති මුදල ඉතා සීමිත බවයි. එමෙන්ම ඔවුන් සිය වෙබ් අඩවිය හරහා පළ කර තිබුණේ සතුන් 250ක පමණ ප්‍රමාණයක් රැකබලා ගැනීම සඳහා සතියකට ඩොලර් එකොළොස් දහස් පන්සියයක් පමණ අවශ්‍යය වන අතර මේ වන විට ඒ සඳහා අවශ්‍ය මුදල් ඔවුන් සතුව නොමැති බවයි. තමන්ට හැකි පමණින් මේ සඳහා උපකාර කරන ලෙස සත්ත්ව උද්‍යාන බලධාරීන් ඉතා කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා තිබේ.


එමෙන්ම එහි බලධාරීන් ඉල්ලා සිටින්නේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් බේරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ සඳහා යම්කිසි පියවරක් ගත යුතු බවයි. සතුන්ගේ ආහාර, පශු වෛද්‍ය බිල්පත් සහ ඔවුන් රැකබලා ගන්නා පාලකයින් වෙනුවෙන් ගෙවීම සඳහා ජනතාවගේ සහයෝගය මෙම වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත සත්වෝද්‍යාන හා මින්මැදුරන්ගේ සංගමයට අනුව සත්වෝද්‍යානවලින් 40% ක් මෙසේ මෙම අර්බුදයට මුහුණ දෙමින් සිටී. එමෙන්ම සත්වෝද්‍යාන සඳහා දැරීමට සිදුවන පිරිවැය මේ අවස්ථා වන විට ඉතාම ඉහල මට්ටමක පවතින බවද ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම මෙම සත්ව උද්‍යානයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක මහත්මිය පවසා ඇත්තේ මෙය නඩත්තු කිරීමට තරම් මුදලක් ඔවුන්ට නොලැබුණහොත් ඉදිරියේදී මෙම සත්වෝද්‍යානය වසා දැමීමට පියවර ගැනීමට සිදුවනු ඇති බවයි. එමෙන්ම මේ අවස්ථාවේ සාම්ප්‍රදායිකව අරමුදල් රැස්කිරීම කළ නොහැකි බැවින් ඔවුන් මුදල් රැස් කිරීම සඳහා හදිසි අභියාචනයක්ද ඉදිරිපත් කර තිබේ.


කෙසේවුවද මෙම ඩාර්ට්මූර් සත්ව උද්‍යානය පවසන්නේ ස්කයි නිවුස් වාර්තාවෙන් පසුව සත්ත්ව උද්‍යානය වෙත විශාල වශයෙන් ආධාර ලැබුනු බවයි. එමෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන්  ඩොලර් 40,000 ක පමණ පරිත්‍යාගයන් මෙම උද්‍යානයට ලැබී ඇති අතර එමඟින් ආහාර, පශු වෛද්‍ය බිල්පත් සහ සතුන් රැකබලා ගැනීම සිදු කෙරෙමින් තිබෙන බව එරට බලධාරීන් පවසා තිබේ.

- රිෂ්මි ඉෂාරා -