කොරෝනා වෛරස තත්වය නිසා ව්‍යාපාර වලට පාඩු ලැබීම ඇදවැටීම සේවකයින් ඉවත් කිරීම හා සේවක වැටුප් කප්පාදුව ලෝකය පුරා සිදුවෙද්දී ලංකාවේ පුද්ගලික සමාගම් ගණනාවකටත් මෙය අයහපත්
ආකාරයට බලපා තිබේ.
 මෙරට ලැයිස්තුගත කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් කිහිපයක් දැනටමත් වෛරසයේ බලපෑම මත ඉදිරියේ සිදුවන වෙනස්කම් ගැන දන්වා ඇත.
වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය පිළිබඳව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය දැනටමත් සිය සේවකයින් වෙත නිල වශයෙන්ම දැනුම් දී තිබේ.

මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද සඳහා යොමුවීමට පියවර ගෙන තිබෙන බව එහි සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිය කාර්ය මණ්ඩලය වෙත දන්වා ඇත.
එම ආයතන සමූහයේ විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් 60%කින්, සමූහ විධායක කමිටුවේ සාමාජිකයින්ගේ මූලික වැටුප 35%කින් සහ රු, 50,000ට වැඩි වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප්, ඒ ඒ වැටුප් මට්ටම් අනුව 5% සිට 35% දක්වා ප්‍රමාණයකින් කප්පාදු කරන බවට තීරණය කර තිබේ. ඒ අතර ඉදිරි මාස 03 ක කාලය සඳහා ගමන් වියදම් දීමනා, නව බඳවා ගැනීම්, පාරිතෝෂිත අරමුදල් ණය යනාදිය ද අත්හිටුවා ඇත.

මිට අමතරව මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් අපනයනකරුවකු වන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් සිය සගයන් වෙත ලිපියක් යවමින් බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සියලු විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 60% දක්වා කප්පාදු කිරීමට පියවර ගෙන ඇතැයි දන්වා ඇත. සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, නව බඳවාගැනීම් අත්හිටුවීම හා තාවකාලික කාර්ය මණ්ඩලය තවදුරටත් රඳවා නොගැනීමට ද තීරණය වී තිබේ.

ශ්‍රීලංකන් ගුවන්සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට තීරණය ගෙන තිබුණේ අර්බුධයේ මුල් අවස්ථාවේදිමය. 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට ඔවුන් කටයුතු යොදා තිබේ. එසේම 2020 වර්ෂයේ ඉතිරිකිරීමේ පිරිවැය කෙරෙහි සෘජු බලපෑමක් ඇති ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව තිබේ. ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම දරන බව පවසා සිටියි.