වියට්නාමය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ එරට කොවිඩ් 19  මරණ සීඝ්‍ර ලෙස වාර්තා නොවීම හේතුවෙනි.  එරට මේ වන විට තීරණය කර තිබෙන්නේ ද නව කොරෝනා වෛරසය හේතුවෙන්
අගුලු දැමූ තම රාජ්‍යයේ නැවත එම අගුලු දැමීම ලිහිල් කිරීමටය. වියට්නාම රජය බ්‍රහස්පතින්දා දින සිට මෙම අගුලු දැමීමේ නීතිය ලිහිල් කිරීම ආරම්භ කරන බවද දැනුම්දී තිබේ. එමෙන්ම ආසියානු රටක් වන වියට්නාමය තුළ පසුගිය සතිය පුරා කිසිදු රෝගියෙකු වාර්තා නොවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
වියට්නාමයේ කොරෝනා වෛරස ආසාදනවීම් 268 ක් වාර්තාවූ නමුත් මරණ කිසිවක් වාර්තාවී නැති අතර සුවය ලබා අද වනවිට පිටව ගිය ගණන 225 කි.


මෙම රාජ්‍යය තුළ මිලියන 95ක් පමණ ජනගහනයක් වෙසෙන අතර පසුගිය දිනවලදී නව ආසාදිතයන් වාර්තා නොවීම අතිශය සතුටු දායක කරුණක් බව එරට බලධාරීන් පෙන්වා දෙයි. එමෙන්ම ඔවුන් මෙම තීරණය ගනු ලැබුවද ජනතාව මෙම  නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ආරක්ෂක පියවරයන් කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතු බව එරට රජය විසින් පෙන්වා දී තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේදී මෙම අගුලු දැමීම ලිහිල් කරනු ලැබූ පසු රටපුරා පදිංචිකරුවන්ට කුඩා රැස්වීම් නැවත ආරම්භ කිරීමටත්  ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමටත් දේශීය ගුවන් සේවා නැවත ආරම්භ කිරීමටත් අවස්ථාව උදා කර තිබුණද සෑම දෙනාම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව රජය පැහැදිලි කර තිබේ. එමෙන්ම විස්සකට වඩා වැඩි පිරිසකගේ රැස්වේ පැවැත්වීම තහනම් බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත. කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හේතුවෙන්  එරට පාසල් තවත් සති කිහිපයක් වසා තිබෙනු ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් නිසි පරිදි සිදු කෙරෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

වියට්නාමය මෙසේ ජයග්‍රාහී පියවරක් තැබූ නමුත් අද ලෝකයේ බොහෝ ප්‍රදේශවල තවමත් මෙම වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්ත වනු දක්නට ඇත. එබැවින් මෙම කොවිඩ් 19 අවදානම අපෙන් අවසන් නොවන වග එරට අගමැති ගුයින් සුආන් මහතා පවසා තිබේ.


වියට්නාම රජය විසින් අප්‍රේල් පළමුදා තම රට අර්ධ වශයෙන් අගුළු දැමීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත් එරට තුළින් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වූයේ 268ක් වශයෙන් නමුත් මෙහි අවදානම තවමත් සම්පූර්ණයෙන්ම නිම වී නැතැයි බොහෝ බලධාරීන් පවසයි. එබැවින් බ්‍රහස්පතින්දා දින රට පුරා බොහෝ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ වුවත් ජනතාව තමන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වියට්නාමය විසින් තීරණාත්මක මුල් පියවරයන් නිසි පරිදි  ගැනීම හේතුවෙන් මෙසේ ඔවුන්ට සතුටුදායි ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකි වී ඇති බවයි. මෙම වෛරසය පිළිබඳව ආරංචි වීමත් සමඟ චීනයේ සියලුම සංචාරකයන් තහනම් කිරීම ආසාදිතයන් වාර්තා වීමට පෙර ජනවාරි මැද භාගයේදීම පාසල් අත්හිටුවීම දස දහස් ගණනක් නිරෝධායනයට ලක් කිරීම සමාජ දුරස්ත භාවය ආරක්ෂා කරගැනීම සහ පුද්ගල සම්බන්ධතා සොයා බැලීම මෙන්ම සුවිශේෂී වෛද්‍ය උපකරණ භාවිතා කරමින් මෙම රෝගීන් හඳුනා ගැනීම ඔවුන් ගත් එම පියවරයන් කිහිපයකි. කෙසේ නමුත් මෙම පියවරයන්හි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එරට සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගෙන ඇති බව පෙනෙන්නට ඇත. නමුත් මෙහි වෛරස අර්බුදය නිශ්චිතවම අවසන් වී ඇති බව තවමත් ඔප්පු වී නොමැත.

වියට්නාමය මේ ආකාරයෙන් වෛරස පැතිරීමේ තත්ත්වය යම්තාක් දුරට පාලනය කර ගැනීමත් සමග එරට රජය විසින් ආරක්ෂිත ඇඳුම් කට්ටල මෙන්ම මුහුණු ආවරණ ද වෙනත් රටවල් වලට පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබීම අගය කළ යුත්තකි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයට ද ඔවුන් මෙසේ තම නිෂ්පාදන පරිත්‍යාග කර ඇති අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද ඔවුන්ට ස්තූති කර තිබෙන බවද ආරංචි මාර්ග පවසයි.  එමෙන්ම බොහෝ දෙනා පවසන්නේ වියට්නාමය චීනය සමඟ ගනුදෙනු කිරීමේ දී බොහෝ ප්‍රවේශම් සහගතව එම ගනුදෙනු සිදු කරන බවත් චීනයේ ක්‍රියා පටිපාටයන් පිළිබඳව ඔවුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත්ය. කෙසේ නමුත් චීනය හරහා ලොව පුරා පැතිර ගිය මෙම නව කොරෝනා වෛරස වසංගතයෙන් මේ වනවිට යම්තාක් දුරට යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට වියට්නාමය සමත් වීමත් සමග එරට ජන ජීවිතය ඉතා ඉක්මනින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකි යැයි එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. මේ සියලු කරුණු අනුව හෙළිවන්නේ සෑම රටකම පාලකයන් නිසි අයුරින් මෙම වෛරසය මැඩපැවැත් වීමට ගතයුතු පියවර ගන්නේ නම් සහ ජනතාව ඒ සඳහා සහයෝගය දක්වන්නේනම් ඉතා ඉක්මනින් අපට මෙම නව කොරෝනා වෛරස මාරයාගෙන් ගැලවිය හැකි බවයි.

- රිෂ්මි ඉෂාරා -