කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් සොයාගැනුණු නව ආසාදිතයින් 6 දෙනා ඊයේ (25) රාත්‍රියේම අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණි.

මෙම ආසාදිතයින් 6 දෙනා අතරට පඬුවස්නුවර බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත නාවික හමුදා සෙබලාගේ බිරිඳ හා මාස 6 ක් වයසැති දරුවා ද වෙයි.

එමෙන්ම පඬුවස්නුවර නාවික සෙබලා සමඟ එකම යතුරු පැදියේ පැමිණි වරකාපොල පාදෙණිය හෙට්ටිගෙදර ප්‍රදේශයේ පදිංචි තවත් නාවික සෙබලෙකු ටද කොවිඩි 19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණි.


ඒ අදාළ සෙබළ පෙරේදා දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී හඳණාගත් රෝගීන් 6 දෙනාට අතරට පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් දෙදෙනකු ද වෙයි.

ඉන් එක් සෙබලෙක් මැල්සිරිපුර මහයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අතර අනෙක් සෙබළා අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට මැල්සිරිපුර සෙබළාගේ මහයාය ගම්මානයට ඇතුළුවන මාර්ග 3 ක් තාවකාලික මාර්ග බාධක යොදා වසා දැමිමට පොලිසිය අද පියවර ගත්තේය.

පසුගිය 11 වැනිදා නිවාඩු ලබා අලව්වේ පිහිටි නිවසට පැමිණි අනෙක් යුද හමුදා සෙබළා ආගිය ස්ථාන අද විෂභිජහරණයට ලක්කෙරුණි.

මේ අතර පසුගිය 18 වැනිදා අවිස්සාවෙල්ල කුඩගම යිහැල්ලවත්ත ප්‍රෙද්ශයේ නිවසට පැමිණ සිටි වැලිසර නාවික සෙබළෙකු ටද කොවිඩ් නයින්ටීන් වැලදී ඇති බව තහවුරු වී තිබුණි.

ඒ අනුව ඔහු ඇසුරු කළ නිවෙස් 8 ක පුද්ගලයින් 30 ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි.


මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබදුන් දෙදෙනකු හා යුද හමුදා සෙබලුන් කිහිප දෙනෙකු රත්නපුරයේ සිට පසුගිය 22 වැනිදා කෙසෙලේ වෙලඳමේ නිරත පුද්ගලයෙකු විසින් සිය ලොරි රථයෙන් ලුණුගම්වෙහෙර ප්‍රෙද්ශයට රැගෙන විත් තිබුණි.

එලෙස පැමිණි නාවික හමුදා සෙබලෙක් කොවිඩ් - 19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමත් සමග ලොරි රථයේ හිමිකරුට නිවසේම ස්වං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දි තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේදි ඔහුව PCR පරික්ෂණයට ලක් කිරිමට නියමිතව තිබු අතර ගිලන් රථයක් ඔහුගේ නිවසට පැමිණෙනවා වෙනුවට ඔහුව ගිලන් රථය ඇති තිස්සමහාරාම නගරයට යතුරු පැදියකින් ගෙන්වා ගෙන ඇත.

මේ අතර කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ හම්බන්තොට බැරගම දහමිපුර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළාගේ බිරිඳ, දරුවා, මව සහ නැගනිය හා ඔහු ඇසුරු කළ තවත් පිරිසක් නිරෝධායනයට ලක් කෙරුණි.

මේ අතර පිළියන්දල පැලන්වත් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත නාවික සෙබළාගේ පවුලේ සාමජිකයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් රැගෙන ගියේය.

එමෙන්ම ඔහු ගමන් ගත් ස්ථාන විෂබීජහරණයට ලක්කෙරුණි.