කොරෝනා වෛරසය ආසාදනය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි හි) සේවය කල ශ්‍රී ලාංකිකයෙකු අද (26) ඩුබායි හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ප්‍රමාණ සමීක්ෂකවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි රසික ද සිල්වා නැමැත්තෙකි. මොහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

රසික ද සිල්වා මහතාට ඉකුත් 16 වැනිදා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව රෝහල් ගතව ඩුබායි හි පිහිටි කැනේඩියන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටදී අද දින ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මියගිය ලාංකිකයා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටියේය. හෙතෙම කලක පටන් සිය පවුලේ සාමාජිකයන් සමග ඩුබායි හි වාසය කළ අයෙකුද වේ.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 10,349 දෙනෙකු වාර්තා වන අතර එම වයිරසය ආසාදනයෙන් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිටිති. තවත් පුද්ගලයින් 1978 දෙනකු ඉන් සුවය ලබා ඇතැයි ද එරට පලවන “ද නැෂනල් ” පුවත් වෙබ් අඩවිය අද (26) වාර්තා කළේය.

එම කොරෝනා ආසාදිතයින් අතර ලාංකිකයින් කිහිපදෙනෙකු සිටින බවත් ඉන් ඇතමෙක් එරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර තවත් කිහිප දෙනෙකු සුව අතට පත්ව සිටිති.

සුවය ලැබූවන් අතර ඩුබායි හි ප්‍රමාණ සමීක්ෂකවරුන් ලෙස සේවයේ නියුතු ලාංකික යුවළක්ද වෙති.