කොරෝනා වෛරසයෙන් සුවය ලබා යථා තත්ත්වයට පත්වූ රෝගීන් 116 කට නැවතත් එම වෛරසය සක්‍රීය වී ඇති බව දකුණු කොරියානු රජය විසින් පවසා තිබේ.  පුවතත් සමඟ ලොව පුරා ජනතාව බොහෝ කලබලයට පත්ව තිබෙන අයුරු දක්නට ලැබේ. ඊට හේතුව නැවතත් නව කොරෝනා වෛරසයෙන්
ධනාත්මක ප්‍රතිඵල ලැබූ රෝගීන් තවමත් සුවය ලබා ඇති බවට වාර්තා වී නොමැති වීමයි. කෙසේ වෙතත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ආරංචි මාර්ග පවසයි.
සැබැවින්ම නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකුට නැවතත් එම වෛරසය වැළදීමේ අවදානමක් තිබේ ද? මෙම ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ නැවත වෛරසය වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව එරට රජය විසින් වාර්තා කිරීමත් සමගිනි.


දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ද පසුගිය දිනෙක පැවැත්වීමට එරට රජය තීරණය කර තිබුණි. එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාවක් සිදු කෙරෙන අතර ඔවුන්ට උණ වැළඳී ඇත්නම් වෙනම ඡන්ද ස්ථානයකට ගෙන යාමට එරට රජය කටයුතු කරන ලදි. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි කොවිඩ් 19 වෙතින් සුවය ලැබූ පසු ඔවුන් අවම වශයෙන් යම් කාලයක් ඒ සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත යුතුයි. නමුත් නව කොරෝනා වෛරසය දෙවන වරටත් ආසාදනය වීමේ බරපතළ අවදානමක් තිබියදී දකුණු කොරියාව මෙවන් මැතිවරණයකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැකි බව බොහෝ විද්වතුන් පවසා තිබේ.

දෙවනවර රෝගය වැළදීම ගැන පරීක්ෂණ සිදුවෙද්දී එය පරීක්ෂණ වල දෝෂ නිසා සිදුවීද යන සැකයද පැනනැගී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සැක සහිත රෝගීන් පරික්ෂා කිරීම සඳහා අදාල සාම්පල ලබා ගන්නා ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමට සියළු රාජ්‍යයන් වගබලා ගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප්‍රකාශය නිකුත් කිරීමත් සමඟ නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්ට සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.


කෙසේ වෙතත් දකුණු කොරියාවෙන් වාර්තා වූ දෙවන වරටත් සක්‍රීය වන රෝගීන් සංඛ්‍යාව සියය ඉක්මවා යද්දී මෙම වෛරසය වැළදී ඇති පුද්ගලයන්ට මේ ආකාරයෙන් එය දෙවන වරටත් වැළඳෙන්නේ නම් එයින් අදහස් වන්නේ අප බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවට බලධාරීන්ගේ අදහස් පළව තිබේ.

මේ වන විටත් ලොව බොහෝ රටවල් මෙම සමාජ දුරස්ථ භාවය පිළිබඳව අවධානය යොමුකර තිබේ. නමුත් ඇතැම් රාජ්‍යයන් මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන බව පෙනේ. කෙසේ වෙතත් දකුණු කොරියානු සිද්ධියෙන් සමාජ දුරස්ථ භාවය රැකනොගැනීමේ ගැටලු මතුකර තිබේ.
මුලින්ම කොරෝනා තත්වය අහවරවූ බවට වාර්තා කළ චීනයේද මෙවන් තත්ව මතු විය.
කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට දකුණු කොරියාව මෙන්ම ලොව පුරා රටවල් කිහිපයකින්ම දෙවන වරටත් නව කොරෝනා ආසාදනය වූ ආසාදිතයන් පිළිබඳව වාර්තා වී තිබේ. එබැවින් මෙම නව කොරෝනා වෛරසය සුළු වශයෙන් නොතකා දැඩි අවධානයකින් යුතුව ආරක්ෂාකාරීව ඊට මුහුණ දීමට සියලු රාජ්‍යයන් වගබලා ගැනීම අතිශයින් වැදගත් වේ.

- රිෂ්මි ඉෂාරා -