මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්ත සිරදඬුවම් විදින සිරකරුවකු ජනාධිපතිවරයාගේ නම විකුණමින් කලහකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත
මාරු කර යවා ඇතැයි එම බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණය කරයි. සිරකරුවකුට දත් 3 ක් කැඩෙන්නට පහරදීම, ජංගම දුරකතන භාවිතය හා උසස් නිලධාරින්ට අපහසාත්මක ලෙස බැණ වැදීම සම්බන්ධයෙන් මේ සිරකරුවාට එරෙහිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කර ඇතැයි ද පැවැසේ.

මීට වසර කීපයකට පෙර මිරිහාන පොලිසිය තුළ දී පුද්ගලයකුට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු වන මෙම සිරකරුවාට මරණ දඩුවම නියම වූ අතර පසුව එය ජීවිතාන්ත සිර දඬුවමක් බවට පරිවර්තනය කෙරිණි. මෙම සිරකරුවා මීට පෙර දුම්බර බන්ධනාගාරයේ (බෝගම්බ)ර සිටීයදී එල්ල වූ චෝදනා 2 ක් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් වෙත යොමුකර ඇතැයි එම බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණය කරයි.


-ජයන්ත සරකොන්-