හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ සතුන් එකතු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් තිදෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පබෝධ ජයසේකර මහතා ඊයේ (03දා) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටෙම් සහ කිලෆයාන් නිකොලයි යන රුසියානු ජාතිකයන් තිදෙනාය. සැකකරුවන් තිදෙනා පසුගිය පෙබරවාරි 26 වැනිදා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ සතුන් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර වැඩිදුර වාර්තාවක් එදිනට ගොනුකරන ලෙස වනජීවි නිලධාරීන්ට නියෝග කර තිබිණි.

ඒ අනුව වනජීවී නිලධාරීන් විසින් ඔවුන් රැඳීසිටි ලැගුම්හල පරීක්‍ෂා කර ඇති අතර, එහිදී සත්ව කාණ්ඩ 23කට අයත් සර්පයන්, මකුළුවන්, ගොනුස්සන්, ගොළුබෙල්ලන්, කුරුමිණියන්, සලබයින්, කටුස්සන් ඇතුළු සතුන් 550ක් සොයා ගැනීමට හැකි වූ බව අධිකරණයේදී අනාවරණය විය.

මෙම සතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ලංකාවට ආවේණික සතුන් වන අතර, මෙම සතුන් මෙලෙස එකතුකර ඇත්තේ ඔවුන්ගෙන් ජාන ලබාගැනීමට විය හැකි බවට සැක පළකරයි. මෙය දැනට ශ්‍රී ලංකාවේ අනාවරණය වූ ජාන මංකොල්ලයක් ලෙස සැලකෙන බවද එහිදී හෙළි විය.

අදාළ රුසියානු ජාතිකයන් තිදෙනා මෙරටට පැමිණ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගෙන, දින 14ක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙම සතුන් එකතු කිරීම සිදුකර ඇති බවත්, මෙසේ සතුන් එකතු කළ ප්‍රදේශ ලෙස යාපනය, සීගිරිය, දඹුල්ල, ගිනිගත්හේන ලෙස හඳුනාගෙන ඇති අතර, අදාළ මෝටර් රථයද මේ වනවිට අධිකරණය භාරයට ගෙන ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.

හොර්ටන්තැන්න උද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ සහකාර උද්‍යාන භාරකරු ඩී.පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර මංජුල පනාවල, වන සත්ව නියාමක කේ.පී. ප්‍රියදර්ශන, ක්ෂේත්‍ර සහායක එච්.පී.පී. උදයකුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබිණි.

-සම්පත් ජයලාල් -