ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසක් පිළිගැනීම සඳහා පැවැති සාදයක් අවසානයේ කිසියම්
සිඳුවීමකදී ටයරයක් හිසට වැදීමෙන් සිසුවකු බරපතළ ලෙස තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා
ඊයේ (09) කළ විමසීමකදී පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිසියත් විශ්ව විද්‍යාල පාලනාධිකාරයත් වෙන වෙනම පරික්ෂණ දෙකක් පවත්වන බව ද උපකුලපතිවරයා කීවේය.  පසුගිය 06 වැනිදා අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත. එහිදී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුවාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වූ නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් දෙවන වසර සිසුන් විසින් පසුගිය 05 වැනිදා රාත්‍රියේ පවත්වන ලද සාදයක් අවසානයේ කිසියම් සිසුවෙකු විසින් සාදය පැවති ක්‍රීඩාගාරයේ ඉහළ මහෙලේ සිට තල්ලු කරන ලද ටයරයක් හිසේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි කියති. මෙසේ තුවාල ලබා සිටින්නේ මිනුවන්ගොඩ පදිංචි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ පසිඳු හිරුෂාන් නමැති සිසුවාය. විශ්ව විද්‍යාල ක්‍රීඩාගාරයේදී මෙම සාදය පවත්වා ඇති අතර සාදය අවසන් කළ යුතු වෙලාව පසුවී පසුදින අලුයම වනතුරු සිසුන් කුඩා කණ්ඩායමක් ක්‍රීඩාගාරයේ රැඳී සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අලුයම 1.30ට පමණ සිසුන් ආපසු යමින් සිටි අවස්ථාවේ ක්‍රීඩාගාරයේ ඉහළ මහලේ සිට කිසියම් සිසුවකු විසින් තල්ලුකරන ලද ටයරයක් පහළට විත් මෙම සිසුවාගේ හිසේ වැදී ඇති අතර ඔහු එම ස්ථානයේ වැටීමෙන් තුවාල ලබා ඇති බවද පාලනාධිකාරය පවසයි. පසුව විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ හා සිසුන් එක්ව තුවාල ලැබූ සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. කොළඹ ජාතික රෝහලේදී සිසුවා හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් අනතුරුව මේ වන විට හදිසි අනතුරු අංශයේ ටෘෘමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙසේ පැවසීය.  මේක නවකවද සිදුවීමක් ලෙස ඇතැමුන් විග්‍රහ කරන්න හදනවා. එත් දැනට තිබෙන තොරතුරු අනුව මේක එවැනි සිදුවීමක් ලෙසටම අර්ථ දක්වන්න බැහැ. මේ වසරේදි අපි නවක වදය ඉතාමත් අවම මට්ටමකට ගේන්න සමත් වුණා. ඇත්තටම මේක සිදුවුණේ නවක වද කාල සීමාව අවසන් වීමෙන් පසු නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් පැවැත්වුණ සාදයකදීයි. මේ සාදය පැවැත්වෙන බව ආරක්ෂක අංශ දැනුවත්ව සිටියා. රාත්‍රි දහයෙන් පසු සිසුවියන්  හා අනෙකුත් සිසුන් බොහෝ දෙනෙක් පිටව ගොස් තිබුණා.

සිදුවීම වන අවස්ථාවේ එහි රැදී  සිටි සිසුන් බහුතරයක් දෙනා පළමු වසරේ අයයි. දෙවන වසර සිසුන් පසුදින සිට දෙසතියක අධ්‍යයන නිවාඩු ලබා සිටින නිසා ඔවුන්ගෙන්  විස්තර දැනගන්න තවම බැරි වුණා. අපි ඔවුන්ව වහාම කැඳවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරනවා.  දැනට මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයෙන් මෙන්ම පොලිසියෙන්ද වෙන වෙනම පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බවද එහිදී යම් සිසුවකු හෝ කීප දෙනකු හිතාමතාම මේ අනතුර සිදුකර තිබේ නම් ඒ අයට එරෙහීව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උප කුලපතිවරයා කීය.

-මුදිතා දයානන්ද-