සුගිය වසරේ පාස්කු ප්‍රහාරයේදී ශ්‍රී ලංකාවේ ෂැංග්‍රිලා බෝම්බයෙන් ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතියෙකු වන 47 හැවිරිදි ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ දිවි අහිමිවීම ලෝකයේම අවධානය දිනූ සිදුවීමක් විය. එම සිදුවීමෙන් වසරක් ගතවන්නට මත්තෙන් පසුගිය මාර්තු 11 වනදා පොව්ල්සන්ගේ බිරිය අලුතින් නිවුන් දියණියන් දෙපළකට උපත ලබාදීම සිදුකර ඇතැයි
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අනපේක්ෂිත ලෙස දරුවන් අහිමිවූ අඩුව පුරවන්නට නිවුන් දරුවන් දෙමින් දෙවියන් ඔවුනට ත්‍යාග ලබාදී ඇතැයි මේ ගැන මාධ්‍ය වාර්තා පළව තිබේ.
නව දරු උපත පිළිබඳව ඔවුන්ගේ පෞද්ගලික

ලේකම් ක්‍රිස්ටීන් මන්ස්ටර්ගේ ප්‍රකාශයක් නිකුත් කර තිබුනේ මෙසේය: “2020 මාර්තු 11 වන බදාදා ඈන් සහ ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් නිරෝගී අලුත උපන් ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ දෙමව්පියන් බවට පත්විය. හොඳ ගැබ් ගැනීමකින් හා සංකූලතාවයකින් තොරව උපත ලැබීම සිදුවිය.'

ඩොලර් බිලියන 6.4 ක් වටිනා වත්කම ඇති ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන පොව්ල්සන් යුරෝපයේ ජනප්‍රිය අගලුම් අලෙවි කරන අන්තර්ජාල සාප්පු ජාලයක හිමිකරුය. ඔහු ඊට අමතරව දේපළ වෙළෙදාමේ යෙදෙන අතර ග්ලෙන්ෆෙෂි, ගයික් සහ කිනාරා වතු වල හිමිකරු ය. යුරෝපයේ අක්කර 220,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන යුරෝපයේ වැඩිම වතු ප්‍රමාණයක පුද්ගලික හිමිකරුය.
පුද්ගලයින් 290 දෙනෙකු මිය ගිය පාස්කු ප්‍රහාරයේදී පොව්ල්සන් මුහුණදුන්නේ අනපේක්ෂිත අනතුරකටය.

නිවාඩුව සඳහා පොව්ල්සන් ශ්‍රී ලංකාවට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නතරවී සිටියදී බෝම්බ ප්‍රහාරය නිසා දරුවන් තිදෙනෙකු අහිමි විය. සිද්ධිය වූ දිනයේ ෂැංග්‍රිලා හෝටලයේ උදෑසන ආහාරය සදහා පොව්ල්සන් දරු තිදෙනෙකු සමග ගමන් කර තිබුනේ එක් දියණියක සමග බිරිය පිහිනුම් තටාකයේ සිටියදීය. ෂැංග්‍රිලා හෝටලයේ අවන්හලේ පළමු බෝම්බය පිපිරුනේ පොව්ල්සන් දරුවන් සමග සිටි ස්ථානයේ නොව ඊට තරමක් එහාට වන්නටය. ඒ නිසා සිව්දෙනාම එම අවස්ථාවේ බේරුණි. නමුත් ඇතිවූ කලබලය මැද අවන්හලෙන් එළියට ආ පොව්ල්සන් අවන්හලට යාබද විදුලි සෝපානය ළඟ දරු තිදෙනා තබා එතැනින් තනිව පිටව ගියේ  බිරියට හා අනෙක් දියණියට කරදරයක්දැයි සොයා බලා නැවත එන බව දරු තිදෙනාට දන්වාය.

නමුත් මිනිත්තු කිහිපයකින් දෙවැනි බෝම්බයද පුපුරාගිය අතර කඩාවැටුණ වහලේ සුන් බුන් අතරට යටවූ දරු තිදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගියෝය. පිහිනුම් තටාකයේ නිරුපද්‍රතව ඉතිරිවූ බිරිය හා 10 හැවිරිදි ඇස්ට්‍රිඩ් දියණිය පමණක් පොව්ල්සන්ට ඉතිරි විය. කුඩා පුතු ඇල්ෆ්‍රඩ් (5) හා තවත් දියණියන් දෙදෙනෙකුවූ

ඇග්නස් (12) සහ ඇල්මා (15) මෙම සිද්ධියෙන් ජීවිත අහිමි කර ගත්හ.

දරු තිදෙනාගේ අවමංගල්‍ය උත්සව ඩෙන්මාර්කයේ පවත්වනු ලැබූයේ බොහෝ දෙනෙකුගේ සිත් කම්පාවයට පත් කරමිනි. ඒ ගැන යුරෝපා මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණි.

හැම විටම යහපත් වැඩ වලට අතගැසූ පොව්ල්සන් මෙවන් විපතකට ගොදුරුවීම බොහෝ අයට කණගාටුවක් මතු කර තිබුණි. ඔහු සිය පවුලට මහත්සේ ආදරය කළ අයෙකි. මියගිය දියණියන් වළස් පැටව් තිදෙනෙකු යයි හදුන්වමින් පොව්ල්සන් සමාජ මාධ්‍ය වෙත මුදාහළ ඡායාරූපයද බොහෝ අයගේ කථාබහට ලක් ව තිබුණි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් වන රතු ලේනුන්, පයින් මාටින් ඇතුළු සත්වයින් රැක ගැනීමේ සමාජ කාර්යයකටද දායකවී සිටින පොව්ල්සන් සංරක්‍ෂණයේ වැදගත්කම පිළිබඳව ළමයින් දැනුවත් කිරීම සඳහා යුරෝපය පුරා වැඩසටහන් සංවිධානය කරන අයෙකි.වතු හිමියෙකු වුවද කපටි වෙළෙන්දෙකු නොවන බව බොහෝ අවස්ථාවල පෙන්නුම් කර ඇති අයෙකි.
මානුෂිය ගුණාංග වලින් පිරිපුන් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසාට මෙම සිද්ධියෙන් පසු නැවත දරුවන් දෙදෙනෙකු දෙවියන් තෑගි කර තිබේ.