කොරෝනා ආසාදනය නිසා මියගිය දෙවන ශ්‍රී ලාංකිකයාගේ අවසන් කටයුතු මීගමුව කොච්චිකඩේ ප‍්‍රදේශයේ මයියොක්කාහේන පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රී 12 ට පමණ සිදු කෙරුනේ
එම පවුලේ කිසිවෙකුගේ සහභාගීත්වයකින් තොරවයි.
මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , මීගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්වූහ.
නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට

පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි වුවත් ඒ වනවිටත් නිරෝධායනයට ලක්ව සිටි එම පවුලේ අය ඔහුගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට පැමිණ නොසිටි බව වාර්තා විය.
විදේශගතව සිටි ඥාති පුත්‍රයෙකු නිවසට පැමිණ යාමෙන් පසු මෙම පුද්ගලයාට කොරෝනා වැළ‍ෙදන්නට ඇතැයි සැකකරන අතර ඔහු මරණයට පත්වන දිනය තෙක් ප්‍රතිකාර කිසිවක් ලබානොගෙන මගහැර සිටීම හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් විය.
 මීගමුව රෝහලේ 20 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකර තිබෙන අතර ඔහු ඊට පෙර ගමන් කළ මීගමුවේ නවලෝක රෝහලද නිරෝධායනයට යොමු වී තිබේ.
මියගිය 64 හැවිරිදි පුද්ගලයාගේ නිවසේ 13 දෙනෙකු වාසය කළ අතර ඔවුන්ද නිරෝධායනය සඳහා මේවනවිට යොමු කර තිබේ.
රටේ ඇදිරි නීතිය පනවා කොරෝනා රෝග ලක්ෂණ ගැන විශාල ප්‍රචාරයක්ද ලබාදී තිබෙන පසුබිමක ඒ රෝග ලක්ෂණ ගැන සැකයක් හෝ නොදැනී අවසන් මොහොත වනතුරු මේ රෝගියාව නිවසේ තබාගැනීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද සිදුවේ.