පාසල් පෙළපොතටම අධ්‍යාපන ඇමැතිවරයාගේ රූපය හා පණිවුඩ මින් ඉදිරියට ඇතුළත් නොකිරීමට අධාපාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) දැනුම් දුන් අතර ඒ තීරණය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී
සිය ප්‍රශංසාව පළකර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා හා අධ්‍යාපන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (5) දහවල් පැවැත්වුණු අතර අධ්‍යාපන ඇමැතිවරයා එම තීරණය දැනුම් දී තිබුණේ ඒ රැස්වීමේදීය.  දරුවන් අඩු සංඛ්‍යවක් සිටින පාසල් ඒකාබද්ධ කිරිමට මෙහිදී උපදෙස් දී තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුරු විද්‍යා පීඨ දහනවය (19) උපාධි ලබාදෙන විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරිමට කඩිනමින් පියවර ගන්නැයි ද දැනුම් දී ඇත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ස්ථාවර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා  දිය යුතු බවත් හයවැනි ශ්‍රේණියේ සිට දරුවන්ට  පරිගණක අධ්‍යාපනය දිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා වූ විභාග මූලික අධ්‍යාපන රටාව වෙනස්කර ලොව ජයගත හැකි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා  දිය යුතු බව ද ඔහු ප්‍රකාශ කර ඇත.  මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සිතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.එම්. චිත්‍රානන්ද යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

-සුජිත් හේවාජුලිගේ-