මෙරට සේවය කළ චීන ජාතික කම්කරුවන් විශාල පිරිසක් චීනයට ගොස් නැවත මෙරටට නොපැමිණීම නිසා මහා පරිමාණ ව්‍යාපෘති රැසක කටයුතු අඩපණ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ
බැංකුවේ දත්තවලට අනුව මහා පරිමාණ සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති රැසක චීන ජාතික කම්කරුවන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර ඉකුත් ජනවාරි අගභාගයේ නව අවුරුදු උදාව නිමිත්තෙන් ඔවුන්ගෙන් බහුතරයක් චීනයට ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය තදින් පැතිර යාම නිසා මව් රටට ගිය චීන ජාතික කම්කරුවන් තවමත් දිවයිනට පැමිණ නැති හෙයින් ඔවුන් සේවය කළ ව්‍යාපෘති රැසක කටයුතු අතරමග නතර කිරීමට සිදුව තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල චීන ආධාර යටතේ ඉදි කෙරෙන කොළඹ වරාය නගරය, තරු පංතියේ හෝටල්, නිවාස සංකීර්ණ, ගුවන් පාලම් හා අධිවේගී මාර්ග ඇතුළු ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති රැසක චීන ජාතික කම්කරුවෝ සේවය කරති.
එසේම  චීන සංචාරකයන්ගේ පැමිණීම ඉකුත් පෙබරවාරි මාසයට
සාපේක්ෂව සියයට 92කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  ඉකුත් වසරේ (2019) පෙබරවාරි මාසයේදී චිනයෙන් පමණක්
මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 28,039 වූ නමුත් පසුගිය  මාසයේදී පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,096ක් යැයි ද එම බැංකුව සඳහන් කරයි.  පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස දෙකේදී චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 55.1කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.  පසුගිය වසරේ සමස්ත සංචාරක පැමිණීම්වලින් (167,863න්) සියයට 9කට හිමිකම් කියා ඇත්තේ චීන සංචාරකයන් වන බව ද මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ජනවාරි මාසයේදී සමස්ත සංචාරක පැමිණීම් සියයට 6.5කින් සහ පෙබරවාරි මාසයේ සමස්ත සංචාරක පැමිණීම් සියයට 17.7කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාසිකව නිකුත් කළ සංඛ්‍යා ලේඛනවල දැක්වේ. 2019 වසරේ ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 244,239ක් පැමිණ ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 228,434ක් පමණී. පසුගිය වසරේ  පෙබරවාරි මාසයේදී සංචාරකයන් 252,033 දෙනකු පැමිණ ඇති අතර එය මේ වසරේදී 207,507 දක්වා අඩු වී තිබේ.

-හර්ෂණ තුෂාර සිල්වා-