නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත්
සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක  සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (09) පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනකුට සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (09) විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය. සමඟි ජනබලවේගයේ පක්ෂය කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ දී සුබ මොහොතින් ඊයේ විවෘත කෙරීණ. සර්ව ආගමික කටයුතු කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් ද කළේය.

“අපි අද මේ විවෘත කළේ මේ රටේ පොදු ජනතාවගේ මහ ගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය අද සිට මේ රටේ සෑම දෙනාම දුක්ගන්නාරාල බවට පත්වෙනවා" යැයි ද එහිදී රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.  මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පී හැරිසන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. මීට පෙර සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව  ඊයේ පස්වරු 4.00ට මෙම කාර්යාලයේ දී පැවැත්විණ.


-නිමල් කොඩිත්තුවක්කු-