ර්භණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීම නිසා
පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මාතෘ රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙයි.  එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි
පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ

නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් පැමිණ නතරව සිට පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා විය.

සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් ද නොතකා මෙම කාන්තාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර මිට දින කිහිපයකට ඉහතදී පානදුර ප්‍රදේශයේ පිහිටි පෙර කී පෞද්ගලික රෝහලේ මාතෘ සායනයකට ද එක්ව ඇත. එම අවස්ථාවේදී ද එම ගර්භණි කාන්තාව සිය සත්‍ය තත්ත්වය සඟවා සායනයට සහභාගිවී ඇත.

මෙම ගර්භණි කාන්තාවට ඉන් පසුව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඇයව IDH රෝහලට ඇතුලත් කොට ඇත. එහිදී සිදුකළ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇත.
ඒ අනුව එම කාන්තාව මාතෘ සායනය සඳහා ගිය පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල මුද්‍රා තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. රෝහල් කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදි ඇත.