පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය නැරඹීමේ අවස්ථාව මහජනයාට ලබාදීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙරවරු 10.00 සිට පස්වරු 4.00  දක්වා එය නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වන අතර, එහි ඡායාරූප ගැනීමටද නරඹන්නන්ට හැකියාව ඇත.
මේ සඳහා අධ්‍යක්‍ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 යන ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 0112354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකිය. පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන 'අයෝනියානු ශෛලියට අනුව වසර 82කට පෙර නිර්මාණය කර ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරනු ලබන්නකි.

එය බාහිර පෙනුමින් ඇතෑන්ස්හි ඇක්‍රොපොලිස් කඳු මුදුනේ 'ඇතීනා' නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන 'පාතිනන්’ගොඩනැගිල්ලට සමානත්වයක් උසුලයි.

ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 ජනවාරි මස 29 වැනිදා ව්‍යවස්ථාදායක සභාව ලෙස ගොඩනැගිල්ල ස්ථාපනය කර ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ව්‍යවස්ථාදායකයේ පසුව සිදු වූ නාම සංශෝධන සමග මෙය රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931-1947) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947| 1972) ජාතික රාජ්‍ය සභාව (1972-1978) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (1978-1982) යන නම්වලින් හඳුන්වනු ලැබීය.

පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව මේ පෞරාණික ගොඩනැගිල්ල 1983 සැප්තැම්බර් මස 08 වැනිදා ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරිණි.

- නිදර්ශනී වික්‍රමසිංහ -