" ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දරුවෙක් හදිසි අනතුරකට ලක්වෙලා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිනවා. කළුබෝවිල රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ
වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධව මම ස්තූතිවන්ත වෙනවා." යැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවකුගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" මේ දරුවාගේ මොළයට හානි වෙලා තිබෙනවා. සිහිය නැතිව තමයි රෝහලට ගෙනැත් තිබෙන්නේ. මෙතැන වැරැද්දක් තිබෙනවා. රාත්‍රී 1.30 වන තෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිසුන් ඉඳලා තිබෙනවා. මේක නවකවදය නිසා සිදු වුණු එකක් ද නොඑසේ නම් වෙනත් සිදුවීමක් නිසා වුණු දෙයක් ද කියලා පරීක්ෂණ අවසානයේ තමයි කියන්නට වෙන්නේ. කොහොම වුණත් මෙවන් තත්ත්වයන් ඇති නොවන පරිදි කටයුතු කිරීම තමයි ශිෂ්‍යයන්ගේ වගකීම වෙන්නේ. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල මට්ටමින් හා මිරිහාන පොලීසියෙන් පරීක්ෂණ දෙකක් සිදු කරනවා.

විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලි මතයක සිටිනවා. එහෙම අභ්‍යන්තර මැදිහත්වීමක් කිසිසේත් සිදු නොකරන බවට පසුගිය කාලය තුළ අපි පෙන්නුවා. එතුමාට අවශ්‍ය නැහැ ශිෂ්‍ය මර්ධනය. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනම දෙයක්. ඒ තමයි විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට වරම් නොලබන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා යාමට අවශ්‍ය මාවත සකසා දීම. අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දයාවෙන් කටයුතු කරන විට සමහර සිසුන් නවකවදය තවදුරටත් භාවිත කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තියෙනවා පැහැදිලිවම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට නවකවදය තුරන් කරන බව.

විශ්වවිද්‍යාල තුළ පමණක් නොව ශිෂ්ට සම්පන්න ලෝකය තුළ පියෙක් විසින් දරුවන්ට දඬුවමක් කළත් එය දරුවන්ට කළ හිංසනයක් ලෙස නීතියෙන් දඬුවම් දෙන්න පුළුවන්. අපි නවකවදය වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස සියලුම ආගමික නායකයන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මවුපියන්ගෙන් සහ දරු දැරියන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

පසුගිය වසරවල 2000කට වැඩි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වෙලා විශ්වවිද්‍යාල දාලා ගිහින්. මේක බරපතළ ත්ත්වයක්. වාර්ෂිකව 3000ක් ඇතුළත් වෙනකොට ඒකෙන් 2000ක් නවකවදය නිසා සරසවි දාලා යන එක. මේ සියලු දෙනාට නැවත උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමටත් තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පැමිණිලි කිරීමටත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන එම කමිටුවට පැමිණ තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කමිටු නිර්දේශ අනුව සිසුන්ට සාධාරණය ඉටු කර දෙනවා. මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ප්‍රතිපත්තිමය තීන්දුවකින් එම කටයුත්ත සිදු කරන්නට අපේ රජය බලාපොරොත්තු වෙනවා.” යැයිද පවසා සිටියේය.

- සාකළ්‍යා සඳමාලි -