සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා මාධ්‍යවේදියෙකු වන නුවන් නිරෝධ අල්විස් මහතා පොලිසිය මගින් ඊයේ 28 රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල කළුබෝවිල ශ්‍රී මහා විහාර පාරේ පදිංචිකරුවෙකු වන ඔහු මේ දිනවල බිරිඳගේ සොයුරියගේ කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ නිවසක සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

38 හැවිරිදි නුවන් නිරෝධ ජාතික රූපවාහිනියේ 'ඇඟිලි සලකුණ' අපරාධ වාර්තා වැඩසටහනේ පසුබිම් කථක ලෙස කාලයක් ප්‍රකට විය. පුවත්පත් වලද සේවය කර ඇති ඔහු මෑත කාලයේ වඩාත් ප්‍රකට වූයේ දේශපාලන මත පළකරන ෆෙස් බුක් පිටු පවත්වා යන්නෙකු ලෙසයි.

පසුගිය දිනවල ලංකාවේ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ දිනයක මොහු විසින් පුද්ගලික රෝහලක නමක් සඳහන් කර එම රෝහලේ කොරෝනා ආසාදිත කුඩා බිළිඳියක එදින හදුනාගෙන ඇති බවත් රජය එම පුවත සගවා ඇති බවත් දන්වා තිබුණි.

මෙම පුවත අසත්‍යයක් වූ අතර ඒ බව එම රෝහලේ නියෝජිතයින් ඔහුගේ ෆේස් බුක් පිටුවට දන්වා කොමෙන්ටු පළ කර තිබුණත් නුවන් නිරෝධ සිය පුවත නිවැරදි බවට තරයේ කියා සිට ඇති අතර ඔහුට තොරතුරු ලබාදී ඇති වෛද්‍යවරයා විශ්වාස කරමින් තොරතුරු නිවැරදි කර නැත.

පසුව පුද්ගලික රෝහල විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුව අද(29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් වාර්තා වේ.