නිවසේ සිටම බිල්පත් ගෙවීම විදුලි කාර්යාලයේ සිටම මනු කියවීමේ නවතම ස්මාට් මීටර් ක්‍රමය ළඟදීම සෑම නිවසකටම හඳුන්වා දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම එක්ව දිවයින පුරා වෙසෙන විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60 කට මෙම “ස්මාට් මීටර්" ලබාදීමට නියමිතය.


ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් ලක්ෂ 6 කට වසර 2 ක් තුළ ස්මාට් මීටර් ලබාදීම සිය අරමුණ වී ඇතැයි එහිම සාමාන්‍යාධිකාරි ආචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පැවැසීය.

ජංගම දුරකථනයට ලබාදෙන "ඇප් එකක්" හඳුන්වාදීම හා අන්තර්ජාලය හරහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය. ඒ අනුව මනු කියවන්නන් අවශ්‍ය නොවන අතර එම අගයන් මණ්ඩලය වෙත ඉබේම යැවේ. විදුලිය බිල්පත් ඇතුළු සෑම තොරතුරක්ම දැන ගැනීම සඳහා ඇමතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවද කාර්යාලයට පැමිණ එසැණින් තොරතුරු ලබා ගැනීම සඳහා බොත්තමක් එබූ පමණින් ක්‍රියාත්මක වන පුවරුවක් සවි කිරීමට තීරණය කර ඇතැයිද ඔහු කීවේය.

මෙම ස්මාට් මීටර් ක්‍රමයේ වැදගත්ම ක්‍රියාවලිය බිල්පත් නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීම හා නැවත ලබාදීම නිවසට නොපැමිණ කාර්යාලයේ සිටම සිදු කිරීම බවද එම සමාගම පවසයි. දැනට බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක් මණ්ඩලයේ අනුමැතිය මත ස්මාට් මීටර් 2000ක් දිනකට නිපදවන අතර වසරකදී 300000ක් නිපදවීමට බලාපොරොත්තු වේ.

- ජයන්ත සමරකෝන් -