කපා කොටා ඝාතනය කරන ලදැයි සැලකන දින දෙකක් පමණ වයසැති  බිලිඳකුගේ මළසිරුරක් සුනඛයකුගේ මග පෙන්වීම මත ඊයේ 2 වැනිදා සොයාගත් බව මීගහතැන්න පොලීසිය පවසයි.  මීගහතැත්ත පොලිස් වසමට
අයත්  පැලවත්ත හොරණ පේරුව ප්‍රදේශයේ  ස්ථාන දෙකක කොටස් වශයෙන් තිබී සොයා ගෙන ඇති මෙම මළ සිරුර අලුත උපන් බිලිඳකුගේ බව මීගතැන්න  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.  එම්.ජේ. ආරියවංශ මහතා පැවසිය.  මෙම සිද්ධිය සම්බන්ධමයත් දෙදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි. මෙම ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයකු විසින් මියගිය බිළිඳාගේ හිස සහිත අත් පා නොමැති ඉණ ප්‍රදේශයෙන් ඉහළ කඳ කොටස ගෙනැවිත් තිබියදී, නිවෙස් හිමියා දැක ඒ බව පොලිස් හදිසි ඈමතුම් ඒකකයට (119) දැනුම් දී ඇත.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිස් කොස්තාපල්වරුන් වන (66316) කුමාරසිංහ, (95131) මංගල යන මහත්වරුන් විසින් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇති ව අසල ලඳු කැලෑවක අතහැර දැමූ පැරණි වැසිකිළි වළක් තුළ තිබී සිරුරේ තවත් කොටස් සහ රෙදි කැබලි සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි. අනතුරුව ලද තොරතුරුවලට අනුව මිගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වූ කොස්තාපල් (70286) රුවන්, කාන්තා පොලිස් කොස්තාපල් (8984) උදයංගනී, මකොස්තාපල් (66316) කුමාරසිංහ, කොස්තාපල් (95131) මංගල යන මහත්ම මහත්මීන් සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට ඊට නුදුරින් පදිංචි තිස්හය හැවිරිදි විවාහක කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මළ සිරුරු කොටස් සොයා ගත් පොලිස් කොස්තාපල් කුමාරසිංහ මහතා මෙහිදී වීශේෂ කරුණු අනාවරණය කරමින් පවසා සිටියේ මළ සිරුර නිවසට රෑගෙන ආ 'චන්ඩි' නමින් හඳුන්වන සුනඛයාට විහිළුවට මෙන් කතා කර සිරුරේ අනිකුත් කොටස් කොහේදැයි විමසූ  අවස්ථාවේදී වහා සුනබයා අසල ලඳු කැලෑව තුළට ගිය බවත්, එසේ මීටර් තුන්සියයක් පමණ ගොස් අනෙකුත් සිරුර කොටස් තිබූ වැසිකිළි  වළ අසල නැවතුණු බවය. සුනඛයාගේ මගපෙන්වීම නිසා සැකකාරිය පිළිබඳ ඉක්මනින්ම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.