[Trending][btop]
[News][stack]

අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි - මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන්න නිදුක් ගැන පියා කිව්ව කතාව

සුගිය සතියේ කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලේ සිට පැන අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ නිදුක් කුඩාගමගේ නමැති 16 හැවිරිදි දරුවා එලෙස දිවි හානි කරගත්තේ ඇයිද යන්න කාහටත් ගැටලුවක් විය. ඔහුට ප්‍රේම සම්බන්ධයක් තිබුණාද, පවුලේ ප්‍රශ්නයක් තිබුණාද  නැතිනම් මානසික ආබාධයක් තිබුණාද වැනි විවිධ ගැටලු මෙම මරණය සමග මතු විය. කොළඹ විදුර ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ
නිදුක් ගාල්ලේ සිට කොළඹ මාලඹේ වෙත සංක්‍රමණය වූ පවුලක වැඩිමල් පුතුය. නිදුක්ට බාල 13 හැවිරිදි නැගණියකද එම පවුලේ සිටී. මව පුද්ගලික බැංකුවක නීති නිලධාරිනියක වන අතර පියා සිරිකුමාර කුඩාගමගේ මහ බැංකුවේ නීති අංශයේ නිලධාරියෙකි.

නිදුක් කුඩාගමගේ (16) නමැති දරුවාගේ  පියා සහ මව දෙදෙනාම ගාල්ලේය. දෙදෙනාම නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව විවාහවී මාලඹේ, කහන්තොට, වෙහෙරගල පෙදෙසේ නිවෙසේ පදිංචියට පැමිණ තිබුණි.
2003 වසරේ පුතා ඉපදුණ කාලය ගැන පියා සිරි කුමාර මතක් කර තිබේ.
“මගෙ පුතා හරිම සුරතල්. පුංචි කාලේ ඉඳන්ම පුතා නිදාගත්තෙ මගෙ දකුණු උරහිසට ඔළුව තියාගෙන. ඒ
දරුවා ඊයේ පෙරේදා වෙනකම්ම නිදා ගත්තෙ මගෙ ළඟයි.”
“පුතා ඉපදිලා අවුරුදු හතරකට පස්සෙ තමයි දුව ඉපදුණේ. දෙන්නම මගෙ ළඟ තමයි නිදාගන්නෙ. පුතා
පාසල් යන්න ළංවෙන කොට ඒ ළමයව හොඳ පාසලකට යවා ගන්න මට ඕනෑකම තිබ්බා. ඒත් මම කවදාවත්
හොර ලියකියවිලි හදන්න කැමැති වුණේ නෑ, ගාල්ල රිච්මන්ඩ් එකට දාන්න විදිහකුත් තිබුණෙ නෑ අපි කොළඹ
රස්සා කරපු හින්දා අපි දැම්මේ විදුර විද්‍යාලයට. මේ දරුවා හරිම හොඳ කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්න දක්ෂයි. කරාතේ ක්‍රීඩාව, පිහිනුම් ක්‍රීඩාවට එයා දක්ෂයි. පුතා චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. එයා එක පාරක් චෙස් තරගාවලියේ ශූරතාව
පවා දිනා ගත්තා. මේ පුතා මටයි, අම්මටයි, දුවටයි පුදුම ආදරයෙන් හිටියේ. අපි උදේට උයන්න පටන්
ගත්තම පුතා ඇවිත් අම්මව බදාගන්න හැටි මට මතක් වෙනවා. මොනතරම් හොඳ දරුවෙක්ද අපිට නැති
වුණේ. වෙච්ච දේ හීනයක් වගේ.

අපි හතරදෙනාම බොහෝවිට හවසට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ගොස් ශරීර සුවතාවල යෙදීමට පුරුදුයි.
 පුතා කිලෝමීටර් අටක් විතර දුවනවා. එයා එයාගෙ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කළා. පිරිසුදුව,
පිළිවෙළට ඉන්න දරුවෙක්. කොණ්ඩෙ ලස්සනට තියාගන්න උත්සාහ කළා. මෙයා ගැන මෙයා කරපු කියපු
දේවල් මතක් වෙනකොට ඒක දරාගන්න බෑ.”
පුතා අඟහරුවාදා දවස්වල කලින් පාසල් ඉවරවෙලා නිවෙසට යන දවසයි. ඇතැම් දිනවල එයා මගේ
ඔෆිස් එකට පැමිණ සවස මා සමඟ නිවෙසට යෑමට පුරුදු වී සිටියා. සිද්ධිය වුනේ ගිය අගහරුවාදා.
“තාත්තෙ මම ටැක්සියක් අරන් ගෙදර යන්නද? නැත්නම් තාත්තගෙ ඔෆිස් එකට එන්නද?” පුතා මගෙන් ඇහැව්වා.
“පුතා ඔයා මගෙ ඔෆිස් එකට ගිහින් වාඩි වෙන්න. මම පොඩි මීටිමක ඉන්නේ” මං කිව්වා.
 ඒත් මට තේරුම් ගන්න බෑ වෙලා තියෙන දේ. මං ඇවිත් බලන කොට “I am Very Sorry තාත්තෙ” කියා මගේ පරිගණකයේ සටහනක් තබලා තිබුණා. ගොඩනැඟිල්ලේ පහළොස්වැනි මහලේ මං හිටියේ. එයා හදිසි පිටවීමේ ‍දොරටුවෙන් දහසය වැනි තට්ටුවට ගිහින් පැනලා තිබුනේ. මගේ දරු පැටියාට වූ දේ අදහන්නටවත් බැරි තරම්. එයාගේ සිරුර
හමුවුනේ මහ බැංකු ගොඩනැඟිල්ල යාබද ජනාධිපති මාවතේ මැද තිබිලා.
“පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. පුතා එදා ඉඳන්ම මාත් එක්ක හැමදේම කියනවා. අම්මාත් එක්කත්
එහෙමයි. පුතාගෙ පෙම් සබඳතාවක්වත් තිබුණු බවක්වත් අප දන්නෙත් නෑ. අපට කියලත් නෑ. එහෙම තිබ්බ
නම් එයා නොකියා ඉන්නෙත් නෑ. අපට සිදු වූ මේ විපත අදටත් හීනයක් වගේ. මොකක්ද මේ වුණේ. මගේ
පුතා හොරු අරගෙන ගියා වගේ” පියා ඉකිගසමින් එසේ කීවේ දෙනෙතින් ගලායන කඳුළු ගංගාවක් මැදිනි.
“අපේ ගෙදර මොකක් හරි වැඩකට එන අයට අඩුමකුඩුම අඩංගු තෑග්ගක් දෙන්න පුතා පුරුදු වෙලා හිිටියා.
කුලී වාහනයකින් ගෙදරට ආව නම් කුලී මුදලට අමතරව කීයක් හරි වැඩිපුර දෙන්න පුරුදු වෙලා හිටිය
දරුවෙක්. හරිම හොඳ ගතිගුණ තිබුණු මගේ පුතාට වෙච්ච දෙයක්”
මතකය මොන තරම් වේදනාකාරීද? මවකට, පියකුට. මේ දරු දුක ඉහිලිය හැකිද? කාලයේ වැලිතලාවට
සියල්ල යටවී ගියද මේ පුතුගේ මතකය අමතක කළ හැක්කේ කෙලෙසින්ද? ඒ මතකය වසර දහසයක මතකය.
සිදුවීම්, කතාබහ, හැසිරීම් රටා තත්පරයෙන් තත්පරය මේ හිත් මොන තරම් නම් පාරනු ඇද්ද? එය
වාවාගත හැක්කේ කවර සිතක් ඇති මවකටද? පියකුටද?
“මම පුතා ඇහැක් වගේ තමයි බලාගත්තෙ. පිය - පුතු සෙනෙහසට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා.
අවබෝධයක් තිබුණා. බැඳීමක් තිබුණා. නමුත් එච්චර ළඟ හිටපු මටත් මේ දරුවව ආරක්ෂා කරගන්න බැරි
වුණා. ලබන අවුරුද්දේ පුතා වෛද්‍ය උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට යවන්න මගේ අදහසක් තිබුනා. ඒකට ඇඟිලි ගැන ගැන හිටියේ. සියලු දේ අපට නැතිවුණා.”
“අපි වැඩිහිටියො හැටියට දරුවන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතන්නේ දරුවන්ගෙ ළමා
ලෝකෙ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා මට දැන් හිතෙනවා. වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව
කළ යුතුයි කියලා. ඒ අයගෙ සිතුම් පැතුම්වලට ගෞරව කළ යුතුයි. රත්තරන් පුතාට වෙච්ච දේ නම් මට
හීනයක් වගෙයි.” පියා කීවේ ඒ ටිකය.

ශිරාන් රණසිංහ