මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලිසියකට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පටුවට ද සම්බන්ධ වන සේ අත්වලට මාංචු දමා සිටියදී අලුයම 3.00ට පමණ පටුවද ගිස මත තබාගෙන මාංචු කුට්ටම පිටින් පැනයාමේ සිද්ධියක් කළුතරින් වාර්තාවේ.



කෙසේවෙතත් මෙම සැකකරු දින කිහිපයකට පසු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. කුඩු සම්බන්ධ චෝදනාවකට සැකකරු රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියේ පුටුවක් මත වාඩිකරවා අත් මාංචු කුට්ටම පුටුවට ද සම්බන්ධවන සේ දමා ඇත.

සැකකරු දින කීපයක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත. අලුයම 3.00 පමණ වන විට පොලිසියේ පිරිසට ද වාඩිවී සිටි ස්ථානවලම නින්ද ගොස් තිබූ අතරවාරයේ ඒ ඇසිල්ලෙන් ප්‍රයෝජනය ගෙන තමා වාඩි වී සිටි යකඩ පුටුව හිස මත තබාගෙන කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවෙසට ගිය බවත් එදින අලුයම තම හිතවතකු වූ පරණ යකඩ එකතුකරන්නකු හමුවීමට ගොස් මාංචු කුට්ටම ඉවත්කර ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පසුව පොලිසියට කියා ඇත.

කෙසේ වුවද සැකකරුවකුට යෙදූ මාංචු කුට්ටමක් ගලවා ඉවත්කර ඔහුට උදව්කිරීමේ වරදට පරණ යකඩ එකතු කරන්නාට මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර නැතැයි ද හීනටියංගල ප්‍රදේශවාසීහු කියති.

එම පරණ යකඩ එකතුකරන්නා පොලිසියට කැඳවා ඇතත් ඔහුට විරුද්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන මුදාහැරීම සම්බන්ධයෙන් තමන් තුළ සැකයක් මතුව ඇතැයිද ප්‍රදේශවාසීහු කියති. මෙම සිද්ධිය පොලිසියේ කිසිඳු ලොක් පොතක සටහන්වී නොමැති බවද කියැවෙයි.