මීගමුව පෙරියමුල්ලේ හෝටලයකදී පෙරේදා (09දා) ඇති වූ ගැටුම හා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු ඊයේ(10දා) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි.



සැකකරුවන් පෙරියමුල්ල, කටාන, කිඹුලපිටිය සහ කටුවැල්ලේගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, ආරවුලට සම්බන්ධ අවශ්‍යව සිටි මෙම සැකකරුවන් ඊයේ (10දා) දහවල් නීතීඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් මීගමුව පොලීසිය වැඩිදුරටත් පවසයි.


තුවාල ලැබූ ගම්පොළ පදිංචි අබ්දුල් කපූර් අබ්දුල් අසීස් (36) නම් හෝටල් සේවකයකු මෙම සිදු වීමෙන් මිය ගොස් ඇති බවත්, හෝටලයේ අයිතිකරු ඔහුගේ සොහොයුරා හා තවත් සේවකයකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ගත ඇති බවත් පොලීසිය පවසයි. රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවන එක් තුවාලකරුවෙකු ඊයේ (10දා) කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි.

වෑන් රියකින් ආ පිරිසක් මෙම හෝටලයෙන් ආහාර ලබා ගැනීමට පැමිණ ඇතැයිද, එහිදී ඔවුන් හා සේවකයින් අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් පසු වෑන් රථයේ සිටි පිරිස එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකු බරපතළ ලෙස කැපුම් තුවාල ලබා ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

වෑන් රියෙන් පැමිණි පිරිසේ සාමාජිකයන් හයදෙනෙකු සිටි බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පැමිණි පිරිස බීමතින් සිට ඇති බවත්, ඔවුන් බියර් පානය කිරීමට සූදානම් වෙද්දී ඊට ඉඩ දිය නොහැකි බව පැවසීමෙන් පසු මෙම ගැටුම ආරම්භ වී ඇතැයිද අනාවරණය වී ඇත.


මෙහිදී බරපතළ තුවාල ලැබූ සේවකයකු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති අතර හෝටලයේ අයිතිකරු සොහොයුරා හා අනෙක් සේවකයාද කැපුම් තුවාල සහිතව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කේ.පී. ගුණදාස මහතා ඉදිරියේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයනාත්, පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

- මීරිගම - කාන්ති -