කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගණයේ ඉදිකිරීම් මාස 03ක් තුළ අවසන් නොකළත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛනගත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්
සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම ඉදිකිරීම් සිදුකරන කසාමා නමැති ජපන් සමාගමට දැනුම් දී තිබේ.

ලබන මැයි මස 31 දින වනවිට එම අංගණයේ ඉදිකිරිම් අනිවාර්යෙන්ම අවසන් කළ යුතු බවට නියෝග කළ අමාත්‍යවරයා මෙම ප්‍රමාදය නිසා ගුවන් තොටුපළට සිදුවන පාඩුව සමාගමෙන් අයකර ගැනීමටත්, මේ ගැන ජපන් තානාපති කාර්යාලය හා ඉදිකිරීම් සමාගමට උපදේශකත්වය ලබාදෙන ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කිරීමටත් තීරණය වූ බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලින් එක් ව්‍යාපෘතියක් වන්නේ එහි නව ගුවන් යානා අංගණය ඉදිකිරීම වන අතර ඒ සඳහා රුපියල් බිලියන 06ක් වෙන්කර තිබේ.
කසාමා නමැති අදාළ ජපන් සමාගමට මෙම ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේදී වන අතර ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් අවසන් කළ යුතු වුව ද අවස්ථා 04කදී මෙහි කාලය දීර්ඝ කිරීමට රජය කටයුතු කළ බව ද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

එලෙස දීර්ඝ කර තිබූ කාලය ද ඉකුත් පෙබරවාරි 28 වෙනිදා අවසන් වුව ද, එහි වැඩ අවසන්ව ඇත්තේ සියයට 75ක ප්‍රමාණයක් පමණක් බවත්, මෙම ඉදිකිරිම් කටයුතු අවසන් නොවීම නිසා ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් මේ නිසා ගුවන් තොටුපළට දැඩි අලාභයක් සිදුවන බව ද පැවසේ.

- තිළිණි ද සිල්වා -