මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි
බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.


අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය බවත්, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිටි බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

2000 වර්ෂයේ උඩුපිඩ්ඩි ප්‍රදේශයේ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ගෙන් අවසර ගෙන නැවත පැමිණ සිටි ද්‍රවිඩ සරණාගතයින් පිරිසක්  දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී හමුදාව යැයි සැකකෙරන අය විසින් අත්අඩංගුවට ගෙන
ඊට පසුදාම සමූල ඝාතනයට ලක්කිරීමේ සිද්ධියට අදාළව වරදකරුවී සැරයන් සුනිල් රත්නායකට මරණ දඩුවම හිමි විය.
මෙම සමූල ඝාතනයේදී මියගිය අය අතර LTTE සාමාජිකයන් තිදෙනෙක් වූ බව කියැවෙයි. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත බාහිර අවධානය යොමු විය.
අවසානයේ නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ  හමුදා සෙබළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
වසර 13ක් තිස්සේ විභාගයට ගැණුනු නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී. අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මදකම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කොට තිබුණි.