කොහුවල ප්‍රදේශයේ උසස් පෙළ සිසුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු මත්කුඩු පැකට් තොගයක් සමඟ බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මඟින් 4 වනදා  පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු ළඟ මත්කුඩු පැකට් 10 පමණ තිබී ඇති අතර මොහු එක් පැකට් එකක් රුපියල් 300ක මුදලකට සිසුන්ට අලෙවි කිරීම සඳහා ඔහුගේ කමිස සාක්කුවේ දමාගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 6ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.


බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව පැවැත්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා 0777128128දරන නව දුරකතන අංකයක් හඳුන්වා දී ඇති අතර එම අංකයට ලද තොරතුරක මත වැටලීමක් සිදුකර සැකකරු ඔහුගේ නිවෙස ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකරුගේ නිවෙස පිහිටියේ කොහුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට යාබදව බවත් එම පාසලේ සිසුන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන සැකකරු මෙම ජාවාරම සිදුකරන බවටත් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

ඇතැම් සිසුන් පාසල් නිමවීමෙන් පසු නිවෙස් බලා යාමට පෙර කෙළින්ම පැමිණෙන්නේ සැකකරුගේ නිවෙසට බවද පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට මීට පෙරද හෙරොයින් නඩු ඇති බවත් ඔහුගේ සොහොයුරා ද මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින්නකු බවද පොලිසිය පවසයි.

කොහුවල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුන් මත්කුඩු මිල දී ගැනීම සඳහා තම නිවෙසට පැමිණෙන බවට සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉහත විදුහලේ බලධාරීන් දැනුවත් කළ බවද පොලිසිය පවසයි.

- ඉන්දිකා රාමනායක -